Tuesday, April 15, 2014

වඳින්නම්; "සුබ අළුත් අවුරුද්දක්"නම් එපෝ !!!

හාර මාසයක් අහවර වෙන්න කළියෙන්, ඕන් තවත් පාරක් තවත් 'අළුත් අවුරුද්දක්' ආපි ! "සල්ලි තියේනම් හැමදාම අවුරුදු තමයි" කියන සමාජයක මේ ලක්ෂණය මොන තරම් සුබ ලකුණක්ද අප්පා......එක ම අවුරුද්ද ඇතුළේ අළුත් අවුරුදු ම දෙකයි ! (තෛපොන්ගල් කියල දමිල ජනතාවගේ වෙන ම එකකුත් තියෙන නිසා හරියට ම බැලුවොත් ඊටත් වැඩියි) බිල් ගෙවාගන්න බැරි ව අවුට් ගොයින් කපල මාස භාගයක් ම දුවන අපේ ජංගම දුරකථනවලටත්, අපේ ම වියදමින් හරි, මේවා අදාල ද-නැද්ද වගේ කිසි ම වාද-භේදයක් නැතිව, මහ රජතුමාත්,  සුබපැතුම් පණිවුඩ එවල තිබුණා. කාටද ආඩම්බර අප්පා ! මිලියන ගාණක් එහෙම එස්.එම්.එස්. ගගහ ඉන්න තරම් කාලයක්-ධනයක්-ඕනකමක්-ආසාවක් තියෙන රජතුමෙකුගේ යටත් වැසියන් වෙන එක.....හැබැයි, උන්නාන්සේ ට හා මගේ සහෝදර රටවැසියා ට බොහෝම ගෞරවයෙන් යුතු ව දන්වා හිටින්න ඕන වෙන කාරණාවකුත් තියෙනවා. මේ අදාල කාල පරිච්ඡේදවල දී මට පොඩි අසනිප ගතියක් දැනෙනවා, ඔක්කාරයක් එක්ක, මෙන්න මේ එක ම එක වචන සෙට් එකක් දිගින් දිගට ම අහල;දැකල; මතුරලා; "සුබ අළුත් අවුරුද්දක් වේවා" ; " එසේ ම වේවා"; ඕන් ඔය වචන සෙට් එක ! මගේ මනස්ගාත ඔළුව ට එන්නේ 'සුබපැතුම් මෙෂින්' වගේ එකක්. එහෙම එකකට තියෙන්නේ බොහෝම සිමිත භාෂාවක් ! හරියට මෙන්න මේ වගේ. පැය 24ම, දවස් 365ම මගේ සල්ලි ගන්න මට පුළුවන් කියල කිව්ව නිසා, මම යනව අදාල බැංකුවේ ටෙලර් මෙෂින් එක ළඟ ට. එතැන දි මට වෙන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙන්න පුළුවන්. සරල විදිය ට සල්ලි අර ගෙන එන්නත් පුළුවන්. බැරි වෙන්න පුළුවන් හේතු ගොඩකුත් තියෙන්න පුළුවන්. රහස් අංකය අමතක වුණා; කාඩ් එකේ මොනව හරි ඇද-පළුද්දක් තිබුණා;බැංකුවේ සල්ලි ඉවර වෙලා....හපොයි, කොයි තරම් දේවල් වෙන්න පුළුවන් ද ?
ඉතින් මම මෙෂින් එකට මගේ ප්‍රශ්නය කොයි තරම් බරපතල ද කියල කියල දන්න හැම විදියෙන් ම පැහැදිලි කරන්න ට්‍රයි කරනවා. ම්හු.... කොහොම කිවත් මූට ඒක තේරෙන්නෙ ම නෑ !  (මොකද ඒකට අදාල බොත්තම් මේ මෙෂින් එ‍කේ නෑ) මිනිස්සු කියන්නේ 'මෙෂින්' නොවෙයි කීව ට, ගොඩක් වෙලාවට, ගොඩක් මිනිස්සුන්ටත් තියෙන්නේ මේ වගේ බොත්තම් කීපයක, සීමාසහිත භාෂාවක් විතරයි කියල මට දැනිල තියෙනවා. චාලි චැප්ලින් 'The factory' චිත්‍රපටයෙන් මතු කළා වගේ; මේක වෙන විදියකට මිනිස්සුන් ට තමන් ගේ භාෂාව අහිමි කිරිම පිළිබඳ ප්‍රශ්නයක්. කොහොම වුණත් දැන් 'සාමාන්‍ය ජනයා' වෙන්නේ අන්න එහෙම උන්.
ඉතින් අපි උදේ - හවා කරන ගොඩාක් මැතිරිම් මෙන්න මේ වගේ තමයි. මේ අවුරුද්වල තියෙන විශේෂත්වය මේ මැෂින් කථා විසි-තිස් ගුණයකින් ගුණ වෙලා ඇග ට කඩා පනින එක ! ඒ නිසා මේකනම් මට හරි ම අප්පිරියාජනක විදියට සාමාන්‍යයෙන් ම සාමාන්‍ය වෙලා !  ඔයාල ට කොහොමද මේක දැනෙන්නේ ? මම ඔයාල ගේ සනීපෙට බාධාවක් කාරිය කළානම්, ඒත් සමාව ඉල්ලන්න වගේ අදහසක් මට නැහැ. තරහක්-වෛරයක් වගේ දෙයක් නිසා‍ නො වෙයි; 'මැෂිමක්' නො වීමේ සනීපය, හොයාගන්න පුළුවන්නම්, අපි කොයි කාටත්......

Thursday, April 3, 2014

ජනතාවට එරෙහි ව ජනතාව ! (රෝහලින් එහා ගිය අලි ලෙඩක්)

රෝහල් කාර්ය මණ්ඩල එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගනිමින් සිටිති. කාගෙනුත් අපට අසන්න ට ඇත්තේ 'තොප ට ලැජ්ජාවක් නැද්ද' යන්න පමණි. එහෙත් ලැජ්ජාවක් නැතිකම ම අභිමානයක් වූ රටක ඒ ප්‍රශ්නය අසා තේරුමක් නැති බැවින් කළ යුත්තේ කුමක්දැයි සිතාගැනීමේ නොහැකියාවකින් පෙළීමේ ඉරණම ට ගොදුරු වී සිටිමි.

ඊයේ සිට පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැඩවර්ජනයේ ය; ඒ හෙදියන් ට සූතිකාගාර පුහුණුව ලබා දිමට එරෙහිව ය. අද සිට හෙද-හෙදියන් වැඩවර්ජනයේ ය. ඒ ඔවුන් ට සූතිකාගාර පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලමිනි. හෙද- හෙදියන් ට එම පුහුණුව දිම ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ බව පැවසෙතත්, ඊට හේතුවක් පැහැදිලි නැත.  පැහැදිලි හේතුවක් තිබුණත්-නැතත් ඔවුනුත් විරුද්ධ බවනම් පැහැදිලි ය. දැන් මේ සමහන් කළ නොහැකි පටලැවිල්ල මතු වී, පැතිරෙමින් ඇත්තේ එක ම සේවාස්ථානයක, එකට වැඩ කරමින් සිටින කණ්ඩායම් අතර ය.  ඉලක්කය කොහොමටවත් සේවාලාභින් වන රෝගින් නො වේ; අඩු ම ගණනේ සහෝදර සේවක-සේවිකාවන් ද නොවේ. (සමාවන්න; ඔවුනගේ සහෝදරත්වය වාත්තීය පටියකට සීසා වූවක්දැයි නොදනිමි. එහෙත් දිගු-දුර විමසතොත් එහෙව් එකක්වත් එතැන නොමැති බැව් හොදට ම පැහැදිලි වනු ඇත)

මේ පට්ට කුහකකමක් ලෙස හදුන්වන බ්ලොග් සටහන් දුටුවෙමි.  මම ද ඒවා සමඟ සම්පූඍණයෙන් ම- හැකිනම් ඊටත් එහා එකඟ වෙමි.

එහෙත් ප්‍රශ්නය ඒවායේ දක්වා ඇති පමණටත් වඩා පැතිරුණ එකකි.  සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වෘත්තීය පට්ටම් කුහකත්වය සඳහා නම් දැරූ තැනකි. එහෙත්, එසේ ඇත්තේ ඒ තැන පමණක් ද? බියජනක හා අප්‍රසන්න කරුණනම් මෙය කොහෙත් ම එතැනට සීමා වූවක් නො වීම ය.   සටන් හැටියට එළියට නොආවත්, අභ්‍යන්තරික යටිකූට්ටු මෙන් ම අප්පිරියාජනක නිල තීන්දු මගින් ද විසඳා ගෙන ඇති පරිදි බොහෝ රජයේ කාර්යාලවල කෑම කාමරය, විවෙික ස්ථානය, වැසිකිලිය පවා මෙසේ වෘත්තිය ධූරාවලීන් අනූව බෙදා වෙන් කොට ඇත. ධූරාවලිය ට අනුව පහසුකම් ද ධූරාවලිගත කර ඇත. පාසල වූ කලි මෙම අසමානාත්මතාවය මුළින් ම පුරුදු-පුහුණු කරන තැන ලෙස හඳුනා ගත හැක්කේ සිසු-ගුරු-විදුහල්පති ලෙස පොදු පහසුකම් ධූරාවලීගත කිරීමෙනි. සරසවියේ දී 'ජේස්ට උත්තමයන්' බව ට තමන් විසින් ම තනතුරුලාභී වන ශිෂ්‍ය පරපුර මගින් ම මේ අසමානත්වයේ සම්ප්‍රදාය සජීවිකරණය කෙරේ.  ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ ඇති සමානාත්මතා නීතිවලින්වත් හවුහරණක් නැතිව අනාථ වන මෙවැනි අවස්ථා රජයේ ආයතනවල උඩපිනුම් ගසද්දි අනෙක් ආයතන ගැන කවර කථා ද !

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතාවට ආවත් අපි මේ තුච්ඡ අසමානතා සම්ප්‍රදායයන් හැම තැන ම ක්‍රියාත්මක කරමින් නොසිටිමු ද? අපේ පිළිකුල මේ මුළු මහත් සම්ප්‍රදාය කෙරේ ම එල්ල විය යුතු නො වේද?  

ප්‍රශ්නය -නැත්නම් අර්බුදයට යටින් ඇති මූලික හේතුව ලෙස මා දකින්නේ, ලංකාව අඩු දියුණු රටක් වීම තුළ ය. අඩු පහසුකම් සොච්චම තුළ තමන් ගේ පට්ටම හා මඬිය පමණක් නැති උත්තරිතරත්වයකට පත් කර ගන්නට අවශ්‍ය හීනමානි මානසිකත්වය ට මෙය සරු පොළොවකි.  මුළින් කී කුහකත්වය ට හේතුව මෙය යයි සිතමි. මෙය පරාජය කළ හැක්කේ දියුණු වෘත්තිය සමිති විඥානයක් තුළිනි. එවැන්නක් අනිවාර්යෙන් ම වැඩ කරන සාමාන්‍ය ජනයා ට වඩා ඉදිරියෙන් දකින්නත් විය යුතු ය. එවැන්නක් කළ හැක්කේ දියුණු දේශපාලන ව්‍යාපාරයක මඟපෙන්විමක් ඇත්නම් පමණි. එහෙත් අප ට එවැන්නක් ද අැති බවක් නොපෙනෙයි.  පක්ෂ සම්බන්ධ වුව ද-නැතද, (ඒවා සැබෑ 'පක්ෂ' නො වන බැවින්) ඒවා යේ වෙනසක් නැත. බොහෝ විට වෘත්තිය සමිති ඇත්තේ සේවකයන්ටත් වඩා පසු පසිනි.  ඒ නිසා ප්‍රතිඵලය වි ඇත්තේ අතිශයින් ම ‍'පෞද්ගලීකරණය'ට ලක් වි ඇති සේවකයා ගේ-සේවිකාව ගේ පිළිබිමුව ම පෙන්වමින්, ඒවා ද මේ පටු කුහකත්වයේ ප්‍රකාශකයන් බව ට පත් විම ය. මෙය අභියෝග කළ හැකි ගැඹුරු සමාජ ව්‍යාපාරයන් ද අප සතු නො වේ.

අඩු ම ගණනේ එවැන්නක් සඳහා මේ වැනි ලිවීම්වලින් වත් කිසිවක් වේ දැයි සිතා ගත නො හැක. එහෙත් ඒ වෙනුවෙන් දකිනා සිහින මෙසේ හෝ සටහන් කර තැබිම වැදගත් වනු ඇතැයි නො සිතමු ද?

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතු ව ඇති මේ මොහොතේ අර්බුදය ට වහා ම ගෙන ආ යුතු ප්‍රගතිශිලි විසඳුම ලෙස මා දකිනුයේ හෙද නිපධාරිනින් ට පමණක් නො ව හෙද නිලධාරින්ට ද සූතිකා පුහුණුව ලබා දෙමින් සියළුම පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙද සේවය ට අනුයුක්ත කරගැනිමයි. අදාල පුහුණුවේ දි ඔවුන් ගේ සේවය උපදේශක පදනමකින් ද ලබා ගත හැකි වනු ඇත.  ඔවුන්ගේ ක්ෂේත්‍ර රාජකාරි ආදි සුවිශේෂතා සළකා වැටුප් විෂමතාවන් ට හේතු නො වන පරිද්දෙන් ශ්‍රේණි ගත කිරීමේ හැකියාව විමසිය හැකි වනු ඇත.

කෙසේ වුව ද, වැඩපොළ මට්ටමේ ඇති මේ කුහක අසමානාත්මතා සම්ප්‍රදාය අතු ගා දැමිම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත. ඒ වන තුරු ජනතාවගේ අයිතිවාසිකම් මැඩ පැවැත්වීම-උදුරා ගැනිම ගැන ආණ්ඩුවලට-සියළු ආකාරයේ මර්දකයන් ට වෙහෙසක් නො දී, ඒ කාර්යයනුත් අදාල ජනතාව විසින් ම ඉටු කර ගනු ඇත.
 
     

     

Monday, March 31, 2014

මේ ඡන්ද ප්‍රතිඵලය ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් !

ලුණු රහ මහා සාගරයක් මැද කඳුළු කැටයක් වේච්ච මේ පුංචි දූපතේ මහා රජ්ජුරුවොයි, පිටසක්වල වාසියෙක් තරමට ම හොඳට ම හුදෙකලා පුරවැස්සෙක් වන මමයි දෙන්න ම හිතුවා හරියට ම හරි !

ඇත්ත වශයෙන් ම, ආන්ඩුව කරන ඇත්තන්ගේ මේ ලැබුවා කියන 'ජයග්‍රහනය', දැනුවත් ව හෝ නොදැනුවත් ව මුළු මහත් ලංකාවාසීන්ගේ විතරක් නොවේ, පෘථිවි වාසින්ගේත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් !! සෙල්ලං ද - කාටද ආඩම්බර ඇහුවා ලු !!!

මොකක්ද මේ මංඤං කතන්දරේ කියලා අන්ද-මන්ද වුණ කඳුළු කැට වාසියෙක් ඉන්නවානම් හින් ටීකාවක් දෙන්නම්. වැඩිය බෑ; දන්නවනේ අපි ජිවත් වෙන්නේ අහවල් ප්‍රජාවගේ ප්‍රජාතන්තුවාදි රටක බව ! (ඕන් හීන් සැරේ අහගන්නකෝ; මේ කඳුළු කැටේ දිවයිනට මුදල්-හදල් වලින් ආධාර-උපකාර කරපු විදේශ උදවිය ගේ ඒ සබ්බ සන්තකෙත්, මේ රටේ වැස්සෝ මේ රටේදි මත්, පිටරටවලදීත් කඹුරලා, ආණ්ඩුවට ආදායම් උපදවල දිපු සබ්බ සන්තකේත් ඔක්කොම හැබෑම දේශප්‍රෙමයකින් යුතුව මේ කටයුත්තට අපේ ආණ්ඩුව මගින් ආයෝජනය වෙච්ච විදිය හිතල බලන්නකෝ. මීට වඩා නොකිවාට කමක් නෑනේ) ඉතින් මේ 'ජයග්‍රහනය'ට ජාත්‍යන්තර මට්ටමින් ම අපි හැමෝ ම වගේ දායක වෙලා තියෙනවා. (මේක අපි හැමෝගෙම ජයග්‍රහනයක් ද - නැද්ද; අපි ට ඕන කරන එක ද - නැද්ද  වගේ ප්‍රශ්න ඉතින් වෙන ම ඒව නේ)

තව දෙයක් ! ඉර බහින පළාතෙයි , පහළ මුල්ලේ පළාතෙයි පවත්වපු මේ මැතිවරණ දෙකේ දී, ඒව‍ායේ ජනතාව නියෝජනය කරපු 'ඡන්දදායකයෝ' ඔප්පු කළා, තමන් ගේ බය-පක්සපාති බව, පාලකතුමන්ලා ගැන.  උතුරු පළාතේ ජිවත් වෙන ජීවින් ට වඩා තමන්ට තියෙන්නේ ඇගඟන් එළියට එනකම් ම වැඩුනු වෙනස් ම කශේරුක‍ා පද්ධති වර්ගයක් කියන එකත් , ඒ එක්කම.

අ-වේලාවේ මට මෙහෙම දැනෙන්නේ මේ පේන ඉලක්කම් ඇත්ත ම- ඇත්ත කියලා භාර අරගෙන නොවෙයි.  ඒත්, ඒ විදියට භාර ගන්න- ඉවසන්න තියෙන සුවිශේෂ හැකියාව ගැන මේ වෙද්දී හොඳ තේරුම් ගැනීමක් තියෙන නිසා.





Thursday, March 27, 2014

අන්ද-මන්ද-ඡන්ද- මන්ද !

මේ සති ගණනක ඉඳලා ලංකාවේ බස්නාහිර හා දකුණ පළාත් දෙකේ 'ඡන්දකාර‍යෝ' අතර ලොකු උණුසුමක් ! කවුරුත් දන්නවා, හේතුව 'පළාත් සභා මැතිවරණ' කියලා.  මෑතක ඉඳන් හැම මැතිවරණයක් ගැන ම මගේ පෞද්ගලික ව නිරීක්ෂණයක් අනුව පාර්ශ්ව අතර 'අසමානුපාතික උද්යෝගයක්' තියෙන්නේ. මැතිවරණය මොකක් වුණත් ඒකේ වෙනසක් නෑ. අසමානුපාතික උද්යෝගය කියල මම අදහස් කළ එක තවදුරටත් පැහැදිලි කරනවානම්, කෙටියෙන් මෙහෙමයි. මැතිවරණයේ ඡන්ද අපේක්ෂකයන් හා ඡන්දදායකයන්  කියන ප්‍රධාන පාර්ශ්ව දෙක අතරේ මැතිවරණ උද්යෝගය සමාන අනුපාතයකින් නෙවෙයි වැඩකරන්නේ. තවත් පොඩ්ඩක් පැහැදිලි කළොත් ඡන්ද අපේක්ෂකයන්ගේ උද්යෝගය අහස තරම් වෙද්දී, ඡන්ද දායකයන්ගේ උද්යෝගය තියෙන්නේ අමාවකට පායපු හඳ වගේ. (මේක තාමනම් අනිත් පැත්තට වැඩ කළේ නෑ) කවුරු හරි ඡන්ද අපේක්ෂක-දායක තුමන්ලා-තුමින්ලා මේක කියවනවානම්, මගේ නිරීක්ෂණය ට  අදාල තත්වය ගැන අදහසක් කියලා මේක සංවර්ධනය කරන්න කියල ඉලලනවා.
දැන් පවත්වන්න යන පළාත් සභා මැතිවරණයන්ටත් මේක අදාලයි. 

ඡන්ද දායකයෝ කියන්නේ 'ප්‍රජාව' නම්, මේ විදියේ නිශ්ක්‍රීය ප්‍රජාවක් එක්ක කොහොමද ‍දෙයියනේ 'ප්‍රජාතන්ත්‍රවාදය' ආරක්ෂා කරන්නේ ! මේ ගැන තියෙන 'අවංක කැක්කුමේ බරපලකම' හන්දමද කොහේද ආණ්ඩුව කරවන ඇත්තොත්, කරවන්නට කල් බලමින් ඉන්න ඇත්තොත්  ‍ලෝකයේ තියෙන හා අළුත් ම උපක්‍රමත් පාව්ච්චි කරමින් 'ඡන්දදායකයිනි නැගිටිව්-ලංකාද්වීපය බේරාගනිව්' වගේ උනන්දුකාරක ගැන තමන්ගේ උනන්දුව පට්ට ඉහළින් පෙන්නුම් කරනවා.

ඒක කොයි තරම් 'ඉහළයි' ද කියතොත්, අඩු ම ගාණේ ඡන්ද නීති-රිති රැකගන්න එක ගැනවත් ඒ ගොල්ල හිතා බලන්නේ නෑ.  කියල දිල තියෙන සූත්‍රයේ හැටියට ඒකේ ඇති වරදක් නෑ; මොකද නිති-රිති රැකෙන්න ඡන්ද-ප්‍රජාතන්ත්‍රවාදේ තියෙන්න එපා යැ  ! ඒ වගේ ම ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නනම් රටක් තියෙන්න එපා යැ ! ඉතින් කොහොම කෙ‍ාහොම හරි මේ දේශපාලකතුමන්ලා මේ විදියට තෝරා පත් කර නොගත්තොත් රට රැකෙන්නේ කොහොමෙයි !!!

ඉතින් සුපුරුදු විදියට තාප්පයක්-ගහක්-ගලක්-‍බෝක්කුවක්-පාලමක් ගානේ හැම අස්ස-මුල්ලකම විතරක් නොවෙයි, එකා මත එකාත් මේ දවස්වල විරිත්ත ගෙන- අත් වනා ගෙන- නැති නෑකම් කියා ගෙන හැම තැනින් ම කඩා පනිනවා. පත්තරේ-රේඩියෝ-ටීවී-ෆෝන් අස්සෙන් පවා මතු වෙනවා.  ඒ විදිවලින් ග්‍රාහකයාගේ ප්‍රතිචාරය ඇස් පනා පිට බලා ගන්න අමාරු නිසා දෝ කොහේද, පොඩි පහේ පොකට් මීටින්,පිළිගැනීම් ඉඳලා පට්ට-පතාක ජන රැළි දක්වා 'ලයිව් ප්‍රොගෑම්ස්' සංවිධානය කෙරෙනවා. බටහිර ඉඳන් දකුණ ට-දකුණේ ඉඳන් බටහිර ට- ඒ එක-එකක් ඇතුළෙත් මේවා ට සහභාගි වෙන එකම හුදී ජන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ තරම් උනන්දුවක් දැනටමත් තියෙනවානම් මොකටද අමුතු උනන්දු කාරක ප්‍රොජෙක්ට් එකක් කියලා සහෘද හුදී-ජනයෙක් අහන්න පුළුවන්. ඇත්ත කතන්දරේ මෙන්න මේකයි; ඇත්තට ම ඒ ගොල්ලන්ගේ උනන්දුව මේ ඡන්දය ගැන ම නොවෙයි. රස්සාව, සහනාධාර වගේ වෙනත් දේවල් ගැන. ඒවා වෙනුවෙන් එයාලට සිදු වෙලා තියෙනවා තමන් ද ඇතුළත් ඡන්දදායක ජනයාගේ උනන්දුව වෙනුවෙන් උපකරණයක් හැටියට පාවිච්චි වෙන්න.බලහත්කාරයක් හෙම නෙවෙයි ඔන්න; ඒ ජනතාවගේ කැමැත්තෙන් ම තමයි එහෙ ම පාවිච්චි වෙන්නේ හොඳේ  ! මේ වැඩේ ට පොදු මහජන ආයතන හැටියට ආණ්ඩුවේ ආයතනවලින් පට්ට සපෝට් එකක් ලැබෙන්නේ. විශේෂයෙන් ම මැතිවරණ නීති-රීති වගේ දාහක් බාධක මැද්දෙත් මේ මැතිවරණ කාල සිමාව තුළ අළුත රස්සාවලට තාවකාලික ව බදවා ගත් අය, සහනාධාර පොරොත්තු ලේඛණවලට නම් ඇතුළත් වෙච්ච අය මේ වෙනුවෙන් යොමු කරලා, අවශ්‍ය විදියට ප්‍රවාහන වියදම්-කෑම බීම- නවාතැන් විතරක් නොවෙයි අවශ්‍ය විදියට රාජකාරි නිවාඩු එක්ක පඬිත් දීල ඒ ආයතන ප්‍රධානීන් විශාල අනතුරක් භාර අරන් තියෙනවා රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන්. මේවා විපක්ෂෙට නැති එක ගැන ඉරිසියා කරන්න හොඳ නෑ. ක්‍රමයක් හැටියට මේව රැකුණොත්, ඒ ඇත්තෝ බලයට පත් වෙච්ච වේලාවක කාට ද වාසි ! ඉතින් දුර දිග බලල වැඩ කරගන්න එක හොඳයි නොවැ ! අනික පෞද්ගලීකරණයනම් කරන්න හොඳ නෑ; මොකද, එහෙම වුණොත් හෙම කොහොමද මෙහෙම දෑ හිතකාමි වැඩක් කරගන්නේ. අනික, ඡන්දෙට විතරක් නොවෙයි, ඔය මානව හිමිකම් අපට එපා-බඩු මිළ තවත් වැඩි කරව් වගේ දේශප්‍රෙමීත්වයෙන් ඉහ-වහා ගිය සියළු වැඩකටයුතුවලට 'පොදු මහජන ආයතන' පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි නේ. (ගජ-මිතුරු ධනවාදය යටතේ පුද්ගලීකරණය කළත් ඔච්චරම තමයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. හිතා පලන්න වටිණා වැඩක් තමයි)

මේ මැතිවරණයේ තියෙන පට්ටම පට්ට ජෝක් එක තමයි, මේක 'පළාත් සභා' මැතිවරණයක් වීම ! මම කිව හරි ද මන්දා ! මොකද, මේකට ඡන්ද ඉල්ලන අති ම අති බහුතරයක් තඩි ම තඩි පළාත් සභා විරෝධින්. මේ අතර සමහර අය ඉන්නවා මේ ඊයේ-පෙරේදාත් පළාත් සභාවලට බලතල දුන්නොත් රට බෙදෙනවා කියලා ඒවා අහෝසි කරවන්න කියලා හංදියක් ගානේ පෙත්සම් අත්සන් කරවලා ආණ්ඩුවට බලපෑම් කරවන්න කියපු ආණ්ඩුවේ ම කට්ටියත් ! දැන් මේ වගේ නහුතයක් උන්නාන්සෙලා මේ වෙලාවේ පළාත් සභාවේ බලය ඉල්ලන්නේ අනිවාර්යයෙන් ම "අපිට බලය නොදෙව්-තියෙන එකත් කපව්" කියන්න මිස වෙන අහවල් එකටද ! මොකද, මේ දිවි හිමියෙන් කළ රට රැක ගැනීමේ සටන පාවා දෙතෑකියැ, ඒ තරම් ලාබෙට ?

මේ සියළු උනන්දු කාරකවලින් ප්‍රබෝධමත් වුණ ඡන්දදායක ජනී-ජනයට මොකද දැන් කරන්න තියෙන්නේ.......? "මේ පාරනම් මොකක් හරි වෙනසක් ‍කරගන්න පුළුවන් වේවි" මට මුණ ගැහුණ හුදී ජනයින් කීපදෙනෙක් ම කීවා.  මගේ සාමාන්‍ය නිරික්ෂණය තමයි ඡන්ද ප්‍රතිපල කියන ජාතිය ඇහුවා ම මේ පූර්ව ඡන්ද ප්‍රතිඵල නිරික්ෂණයන් ඒවායෙන් පිළිබිඹු වෙන්නේ නැ කියන එක. සූත්තරේ මොකක්ද කියලනම් තේරෙන්නේ නෑ අවංකව ම ! ඉතින් මට හිතෙන්නේ මැිතවරණය දාට ඡන්දදායකයෝ හැටියට අපි ගිහිල්ල කරන්නේ පූර්ව විනිශ්චය කරන ලද ප්‍රතිපලයක් සුජාත කරන්න අවශ්‍ය 'ජාතික යුතුකමක්' වගේ දෙයක් කියලා ! (උතුර වගේ 'ජනතාවක්' ඉන්න තැනකට අදාල ව මේක වෙනස් බවට මම එකඟයි) ඉතින් ප්‍රතිපල වහන්සේ වැඩියා ම අපිට බලාගන්න පුළුවන් වික්‍රමබාහු කරුණාරත්නලා වගේ (මගේ මතකයේ හැටියට පළාත් සභා ක්‍රමයත්, බලය බෙදිමත් රැකගන්න ඒ මුල් දවස්වල පෙනි හිටපු ඇත්තන්ගෙන් අදත් ඒ ස්ථාවරයම වෙනස් නොකර පෙනි හිටින්නේ ඒ අය විතරයි )අය විසි වෙලා, මහ ආණ්ඩුවෙන් අංශුවක්වත් බලය එපා කියන, අර උඩ කියපු වර්ගයේ ඇත්තෝ බලයට පත් වෙලා තියෙන විදිය ! ඒක වෙන සූත්තරෙත් ඔන්න මටනම් තේරෙන්නේ නෑ !

මොනවා වුණත් මට තේරෙන්නේ අපි මේ විදියට 'ප්‍රජාතන්ත්‍රවාදය' කියන එක පට්ට ම පට්ට ජෝක් එකක් කර ගෙන අසික්කිත රසවිඳිමක බුදි වදිනවා කියලා !










Tuesday, September 24, 2013

ලෝගෝස්, බී.අයි.ඇම්.සී.එච්.  සමඟ පොත්

සාහිත්‍ය මාසය ! කාලාන්තරයක් පුරා මේක එනකම් අපි බලා ඉන්නේ කියවන්න කැමති පොත්-පත් ගොන්න අතරින් කීපයක් හරි අතේ තියෙන ගානට ගැලපෙන තරමින් ගන්න පුළුවන්ය කියන බලාපොරොත්තුත් තෙරපාගෙන. ඉතින් මේ පාරත් ගියා තැන් දෙකකට......

එකක්, කොළඹ වරායට ඇවිත් තියෙන ‘ලෝගෝස්-හෝප්‘ නැව ඇතුලේ පොත් ප්‍රදර්ශනයට. පොත්වල ගණන්-හිලව්නම් අපිට කිට්ටු කරන්න පුළුවන් තරමට වඩා ටිකක් දුරින් තියෙන්නේ. ඒත් ඒක මාර අත්දැකීමක්.  

නැවේ කාර්ය මණ්ඩලයෙන් හමු වුණ හිතවතකුගේ උදව්ව නිසා නැව පුරා ම ඇවිදලා, දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් හිමි වුණා. මේ නැව ජර්මනියේ ඉඳන් පිටත් වෙන ඒ වර්ගයේ නැව් දෙකකින් එකක්. එක නැවක් අප්‍රිකාවෙන් පටන්ගත්තා ම, ලෝකයේ බටහිර අර්ධගෝලය පැත්තෙත්, අනෙක මැද-පෙරදිග ඉඳන් නැගෙනහිර අර්ධගෝලයේත් රටවල වරායවලට සේන්දු වෙමින් ලොව පුරා යාත්‍රා කරනවා. නැවේ වැඩ කරන ස්වේච්ඡා කාර්යමණ්ඩලය දෙසීය දෙනෙක්. ඔවුන් රටවල් හැටකින් විතර. අපේ කලාපයට ආපු නැවේ කට්ටියගේ පොදු භාෂා මාධ්‍යය, ඉංග්‍රීසි. අපි ඇහුවා, ඒ ගොල්ලන්ට ලැබෙන ගෙවීම් කොහොමද කියලා. දන්නවද වැඩේ....ඒ ගොල්ල නැවේ වැඩ කරන්නේ නැවට ගෙවීමක් කරල ලු ! ඒ මදිවට, ඒ විදියේ ගෙවීමක් කරලා නැවට එකතුවෙන්න බලාගෙන ඉන්න තව පෝලිමක් ඉන්නව ලු !!  ඒ ගෙවිම් ප්‍රමාණය තමන් අයිති රටේ හැටියට වෙනස් වෙනව ලු. සමහර අය පෞද්ගලිකව ම ගෙවල නැවට එකතු වෙලා ඉන්න අතරේ තවත් අයගේ ගෙවිම් ගැන වග බලාගන්නේ ඒ ගොල්ලන්ගේ ගමේ‘ පල්ලියේ ප්‍රජාව‘ (Church Community)ලු.  අතින් ගෙවල, මේ වගේ ජොබ් එකක් කරන්නේ මොන ඉටිගෙඩියකටද කියලා එකිනෙකාට හොරෙන් අපි හැමෝටම වගේ හිතිල කියල පස්සේ දැනගත්තේ. මේකට එයාල දිපු උත්තරේ “ජේසු කෙරෙහි අපේ ආදරය, අපි ලෝකය එක්ක බෙදා ගන්නේ මේ විදියට“ ඒකත් මාර කතන්දරයක් ! (මේ කට්ටිය කරන්නේ පොත් ප්‍රදර්ශනයක් විතරක් නෙවෙයි. නැව නැංගුරම් දාන තැන්වල ඉඳන්, ඒ රටවල විහිදිලා ගිහින් සෞඛ්‍ය සායන, ඉදිකිරිම්, පානිය ජලය වගේ ජීවන අවශ්‍යතා ඉටුකරගන්නට උදව්වීම්, සිරගෙවල-රෝහල්වල සේවාවන් වගේ ගොඩක් දේවල් මේ ස්වේච්ඡා කණ්ඩායම් අතින් සිදුවෙනවා.) “මේ හැම දෙයක් ම කරලා ඔයාල බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පල්ලියට තව කට්ටිය එකතු කරගන්නද ? “ අපේ රටවල සුපුරුදු ප්‍රශ්නය මෙතැනදීත් එළියට පැන්නා. කට්ටිය වැඩි කරගැනීම-දායකයෝ වැඩිකරගැනිම-සම්පත් වැඩිකරගැනිම කියලා මේ තියෙන සූත්තරේ ආර්ථික සූත්තරයක් මිස වෙන මුකුත් නොවෙයි. (සමහරු මේකේ ‘සංස්කෘතික‘ කතන්දරයක් පෙන්වන්නේ, තමන් ගේ ‘ආර්ථික කතන්දරේ‘ හංගගන්න.) ඒත් අපි අත්දැකපු විශේෂත්වයක් තමයි, මෙතැනදි කිසිම කෙනෙක් තමන්ගේ සේවා සැපයීම සම්බන්ධයෙන් පූර්ව හෝ පශ්චාත් කොන්දේසියක් විදියටවත් තමන් කියන දේට එකඟ විම වගේ දෙයක් ඉදිරිපත් කෙරුණේ නෑ. ඒ ගොල්ලන්ගේ ක්‍රමවේදය වුණේ තමන්ගේ කැපවීම, පරිත්‍යාගීබව තුළින් තමන්ගේ ඇදහීම අත්දැකීම ! ඒක අත්දකින කෙනෙක්, තමන්ගේ අත්දැකීමට එකඟ ව ඇදහිමකට ඇතුල් වුණාට කමක් නෑ නේ. ඇත්තට ම ඒක ඇත්ත ඇදහිමක් නේ. ඉතින් මට හිතුනේ අපේ රටවල ආගම පැතිරවීමේ හා රැකගැනීමේ-එතැනින් එහා තව තවත් දේවල් රැකගැනීමේ වලිප්පුවෙන් පෙළෙන පිස්සෝ-පිස්සියෝ තොග පිටින් ලෝගෝස්-හෝප් නැවට ගෙනැවිත් මේක උගන්වන්න ඕන කියලා. ඒත්, උන් ඉන්නේ ‘ආගම‘ ගැන ඇත්ත කතන්දරේට මුවා වුණ වෙන මඟුලකනම් ඒකෙන් තේරුමක් වෙන්නේ නෑ. මොකද උන්ට ආගම රැකගැනිම හා බෙදාගැනිම කියන එක ඇත්තට ම ඉගෙනගන්න ඕන නැති නිසා. උන් ට ඕන, ඒ උවමනාව, තමන්ගේ වෙන පටු උවමනාවක් වෙනුවෙන් පාවිච්චි කරන්නේ කොහොමද කියන එක තවදුරටත් හදාරන්න විතරක් නිසා. ලෝගෝස්-හෝප් නැවේ අනිත් විශේෂත්වය තමයි, සංස්කෘතික විවිධත්වය තුළ එක්සත්කම ගැන ඒ ඒ රටවලින් වගේ ම තමන් එකිනෙකා තුළිනුත් ඉගෙන ගැනිම. මේ තේමාවන් ගැන ප්‍රකාශිත අර්ථයට අබ ඇටේකවත් ප්‍රයෝජනයක් නොවෙන, සල්ලි-සම්පත්-කාලය-මහන්සිය තොග ගණන් කා දමන ආණ්ඩුවේ නොවන සංවිධානවල විතරක් නොවෙයි ආණ්ඩුවේ ආයතනවලටත් ඉගෙන ගන්නවානම් මෙන්න තැන් ! 
මේ ඔක්කොම අතරේ මම දැකපු සිමාවන් ටිකකුත් නොතිබුණා නොවෙයි. ප්‍රධාන ම දේ තමයි, මේ  ව්‍යාපෘතියේ ස්වරූපය නිසා ම ඒ ඒ රටවල පාලකයන්ගේ එකඟතාවය ඇති සීමාවට ලෝගොස්-හෝප් ක්‍රියාකාරකම් සීමා කරගන්න වෙනවා. උදාහරණයක් හැටියට රතුපස්වල සම්බන්ධයෙන් මේ කට්ටියට දැනුම් දීමක් තිබුණත්, තාම ප්‍රතිචාරය මොකක්ද කියල නෑ ලු ! මේ සීමාවන් දිනාගන්න ඇති අභියෝගයක් විදියට මේ විදියේ ව්‍යාපෘතියක් ගැන හිතන අය ට භාරගන්න වේවි.
ඉතින් මම බී.අැම්.අයි.සී.එච්. ප්‍රදර්ශනයටත් ගියා. මහ විශාල ෙසනඟක් ! ප්‍රදර්ශන කුටියට අැතුල් වුණ ෙවෙල් ඉඳන්, තැම්ෙබන, ෙතරෙපන විදියට හුස්මක් ගන්න එළියට එන එක ගැනයි හිතන්න ෙවන්ෙන්. ෙපා්ලිමක් තිබුණා, රුපියල් දහයක ටිකටි එකක් ගන්න. එ් ටිකට් එක 'දරු-දිරිය' කියල ශිෂ්‍යත්ව වැඩසටහනකට අාධාර පිණිස ලු.  එ් වර්ගෙය් ෙහාඳම කථාව දැකගන්න ලැබුෙණ් සරසවි ෙපාත් කුටියට අැතුල් වුණා ට පස්ෙස්. 'සිංහ එෆ්. එම්. ' කියලා කට්ටියක් ෙපාඩි ළමයි වෙග් ලියපු ලියුමක් අච්චු ගහල එන අය අතට පත්කරනවා.ලියුෙම් හැටියට 'ෙපාඩි උන්' කියනවා, 'උනුත්' අපි වෙග් ම ෙපාත් කියවන්න අාස ලු. සිංහ එෆ්. ඔම්. කට්ටියට දුන්ෙනාත් එයාලෙග් දුප්පත් පුස්තකාලවලටත් ෙපාත් ලැෙබයි ලු  ! ඉතින් සිංහ එෆ්.එම්. එකට දුප්පත් අෙපන් අාධාර ෙනාතිබුණා ට ෙකලින් මබැරි යැ ෙම් සත්කාර්යය කරන්න. ෙම් වෙග් 'දානමය' ව්‍යාපෘති ෙගාඩක් තිෙයනවා. ගංවතුර කාෙලට සමහර දුරකථන සමාගම් කියනවා අහවල් එස්.එම්.එස්. ප්‍රමාණය යැව්වා ම ගංවතුර අාධාරවලට එ්ෙකන් ෙකාටසක් බැර ෙවනවා කියලා වෙග් කථා. ෙලාකුවට හඳ පායන කාලවලට දන්සැල් දාන්න කියලා සමහර ෙපාරවල් ෙම් වෙග් අාධාර සම්මාදම් කරනවා.  මෙග් ප්‍රශ්නය අැයි අෙප් වියදෙමන් එ්ක කරන්න බලා ෙගන ඉන්ෙන්. ඊතින් ෙපාත් ප්‍රදර්ශනයට ගියා ම ෙම් වෙග් ෙපරෙලන ෙපාත් එක්ක ෙතරපිලා-ෙතරපිලා ෙදාට්ට විසි ෙවන්නයි සිද්ධ වුෙණ්. තව එකක්. දැන් දැන් ෙම්ෙපාත් ප්‍රදර්ශනවල පාඨකයන් ට ෙලාකු ඩිස්කවුන්ට් එකක් ලැෙබන්ෙනත් නැති තරම්. ඉස්සර එ් එ් අායතන මට්ටමින්තිෙයන ප්‍රදර්ශනවල මීට වඩා වාසියක් තිබුණා කියලයි මෙග් අත්දැකීම. සමහරු කීෙව් කුටිෙය් විහදම අැතුළු හැම ෙද් ම ඉහළ නිසා එච්චර ෙසල්ලම් කරන්න අමාරුයි කියලා. එෙහම බැලුවා ම කියවීම වර්ධනය කරන්න කියලා ෙකරුණු අවම වැෙඩ්, ටිකක් අඩු මිළක ට ෙපාතක් ගන්න පුළුවන්කමත් ෙම් වැඩ ස්වරූපය එක්ක අතුරුදන් ෙවලා ! (කියවීම  වර්ධනය කිරීෙම් අැත්ත උත්සාහයන් ගැන ෙතාකිෙයා් ෙපාත් ප්‍රදර්ශනෙය් අත්දැකීම් පැරකුම් එයා ෙග් w3ලංකා බ්ෙලාගෙය් සංසන්දනාත්මක ව අකුරු කරල තිබුණා)
දැන් ෙම් ෙපාත් කාෙල් ඉවර ෙව් ෙගන යන්ෙන්. එ්ත් මේ ෙනාෙයක් විදියේ 'ෙපාත් ෙපරලීම්' නම් හැමදාමත් තිෙය් වි. අවුට් එෆ් ෙඩ්ට් වෙග් දැනුනත් ඔන්න එෙහ් ෙම් ෙපාත්් සඳහා අැවිදපු කතන්දෙරත් ලියල දාන්න හිතුෙන් එ්කයි.

   

Tuesday, September 17, 2013

සුනිලා අබේසේකර ගැන පමා වූ සටහනක්

සුනිලා අබේසේකර නික්ම ගියාය !

ඇය, සිය කයින් ජීවතුන් අතර සිටියදී මා ඇය හඳුනාගත්තේ ‘සුනිලා අක්කා‘ ලෙස ය. සුනිලා අක්කා අවසන් හුස්ම හෙළු බව මිතුරියකගේ දුරකථන පණිවුඩයකින් මට දැනගන්නට ලැබුණු ඒ දහවල් මැදියමේ මට දැණුනේ හදවතත්, බුද්ධියත් බර කරන කාන්සාවක් සහිත හිස් තැනකි. ඇය ගේ මරණය පිළිබඳ මෙම පුවත මට මහා අරුමයක් නො විය. පිළිකා රෝගයකින් පෙළෙමින් ඇය ගත කරන අවසන් හෝරාව හොඳින් ම දැන සිටි නිසා තවත් දිගු කලක් ඇය ජීවතුන් අතර රැඳෙතැයි අපේක්ෂාවක් මට නො වීය. එහෙත් ඇගේ මරණය මගේ ප්‍රාර්ථනාවක් ද නො විය. ඇගේ මරණය ප්‍රාර්ථනා කළවුන් සමඟ බෙදාගන්නට හෝ හවුල් වන්නටද මට දෙයක් නො වීය. සුනිලා අක්කා ගේ ජීවිතය, අපට අහිමි වි බොහෝ කලක් බව මට දැනෙන්නේ බොහෝ කල් පටන් ය. මට දැනුන කාන්සා සහගත හිස්තැන, මෙන්න මේ අහිමි විම යළි පිරවිමට සුනිලා අක්කා කවමදාකවත් ආයේනම් එන්නේ නැති බව ඒ පුවතත් සමඟින් පසක් විම ය. මගේ මෝඩ අපේක්ෂාව කුමක් වුවත් ඇතැම් විට ඇය කායික ව ජිවතුන් අතර තව කල්පයක් කල් සිටියද එය සිදු නොවන්නක් වනු ඇත.
මේ කාලයේ මගේ ජිවිතය පිරි ඇති වැඩකට නැති වැඩ කන්දරාව අතරින් පතර, ඇතැම් විට තවත් එවැනිම වැඩක් ලෙස පහුගිය දින කීපයේ සුනිලා ගැන ලිය වි ඇති බොහෝ දේ කියවුවෙමි. බොහෝ දේ ඇසූවෙමි. ඒ ඇගේ මරණය, (සැබැවින් ම ගතහොත් ඇය ගේ ජිවිතය) අපේ සමාජය විසින් කියවා ගන්නා ආකාරය කියවා ගන්නට ය.

හුදි ජනයා අතර බෙහෝ දෙනා ඇය පිළිබඳ නිශ්චිත යමක් දැන නොසිටි අතර ාණ්ඩුව හා විශේෂයෙන් ම ආණ්ඩුගැති මාධ්‍ය විසින් මවා පෙන්වන ලද චිත්‍රයට ඔවුන්ගේ සකල ඥානය සීමා විය !  මාධ්‍යයන් අතර වඩාත් ප්‍රගතිශිලි සමජ මාධ්‍යයන් අතර ද (මේ කියන්නේ සිංහලෙන් පළ වෙන ඕවා ගැන ය) මේ පටුභාවය දුලභ නොවිය. ඇතැම් අය සුනිලා අක්කාගේ පෞද්ගලික ගුණාංග ගැනත්, තවත් අය ඇයගේ කටහඬ හා ගායන-රංගන කලා කෞෂප්‍යයන් ගැනත් කියා “අනික්වා ගැන අපි දන්නැතෝ“ වගේ කථාවක් කියා ෂේප් වි ඇත. (සමාවන්න. ඇතැම්විට ඒ ඔවුන්ගේ ඇත්ත ම සීමාව විය හැක)තවත් ප්‍රතිචාරයන් අතර කතන්දරකාරයා කර තිබුණේ සුනිලා ගේ අභාවය ගැන පළ වී ඇති සියළුම ශෝකප්‍රකාශයන් සිය පෝස්ටුවේ දැමිම ය. w3ලංකා ලියන පැරකුම් මානව හිමිකම් සුරැකිම සඳහා ඇය ගත් ක්‍රියාමාර්ගයන් තුළින් ආණ්ඩුවට මෙන් ම කොටින්ටද විරුද්ධ වූ බව පෙන්වා දි මඩකාරයන්ගෙන් ෂේප් වන්නට වෑයම් කර තිබුණාක් සේ පෙනුනි. අරුණි ෂපිරෝ නම් සුනිලා ගැන ලියද්දී ඇයගේ සුපුරුදු විද්වත් තාර්කිකබව පවා පසෙක ලා මහා කුහකකමක් මතු කරගෙන තිබුණු බවක් පෙනි යයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ දී (එය සමන්විත වන්නේ ලංකාව වැනි රාජ්‍යයන්ගෙන් බව බොහෝ දෙනා ට බෙහෝ විට අමතක වෙයි )සුනිලා විසින් ලංකාවට (?) චෝදනා එල්ල කරන ලද්දේ ‘ත්‍රස්තවාදීන්‘ සමඟ එකට සිට ගනිමින් බව අරුණි පවසා ඇත්තේ ලංකාවේ පවතින ආණ්ඩුවේ මර්දකයන් සමඟ එක ට සිටගනිමිනි. ඒ ස්වරයන් දෙක අතර  කිසිඳු වෙනසක් දක්නට ඇත්නම් මට පෙන්වා දෙන මෙන් අයැද සිටිමි.

මට කියා ගන්නට ඇති, කොහෙන්වත් නොකියවුණු බව දැනෙන දේ පසුව මෙසේ හෝ අකුරු  කළ යුතුයයි හැඟුනේ මේ තත්වයන් නිසා ය.  

සුනිලා අක්කාගේ වියෝවට පෙර ද කාලයක් පුරා මට දැණුන ඒ හිඩැස කුමක්ද ?

සමගි පෙරමුණු ආණ්ඩුවේ හිටපු විදේශ ලේකම්වරයකු වූ සුනිලා ගේ පියා, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් වාමාංශයෙන් ගිලිහී යමින් මධ්‍යම පංතිකයන් අතට පත්වෙමින් පැවැති සමාජ ක්‍රියාතාරිත්වයන් හී පුරෝගාමී නායකයකු විය. මෙම පසුබිමේ ඉහළ මධ්‍යම පංතික බලපෑම සමඟ සුනිලා 70 දශකයේ සමාජ ක්‍රියාකාරිත්වයට ගොඩ වන්නේ උපන් ගෙයි ලිබරල්වාදිනියක් ලෙස ය. 71, 88-89 දකුණේ කැරලිවලදි ද, උතුරේ අරගලයේ දි ද ඇයගේ ක්‍රියාකාරීත්වය සළකුනු වන්නේ ඒ කැරලිවල ප්‍රකාශයට පත් පරමාර්ථයන් හෝ උපාය-උපක්‍රමයන් සමඟ එකඟතාවයකින් නො වේ. මේ අවස්ථාවන්හි දි මෙන් ම ආන්දෝලනාත්මක වූ ස්ත්‍රීවාදී ක්‍රියාකාරකම් සඳහා ද ඇය ගේ ම වූ න්‍යායපත්‍රයක් ඇය ට විය. ‘ඇයගේ ම‘ යන්න නිවැරදි නොවේ. ඇත්තටමනම් ඒ ලිබරල්වාදී න්‍යායපත්‍රයයි. එක්සත් ජාතීන් ගේ සංවිධානය වැන්නක් සමඟ එක් ව සුව-පහසුව ගමන් කිරීම ට ඇයට හැකි වන්නේ මේ තත්වය තුළ ය. මේ නිසා සුනිලා ගේ ක්‍රියාකාරිත්වයන් බරපතල සීමාවක සිර වි පැවතියේ ය. එහෙත් ඒ තත්වය  වින්දිතයන් ට හැර  මේ ක්‍රියාකාරිත්වයන් හි කිසිවකුටත් ගැටළුවක් ද නො වීය. එසේ වන්නේ සුනිලා ගේ සිමාවක් නිසා නොව ලාංකිය ලිබරල් භාවිතයේ සීමාවන් නිසා ය. ලෝක ධනවාදයේ පිළිකන්නේ හැටි මෙහෙම තමා ය.

තත්වයන් මෙසේ පැවතිය දි සුනිලා අක්කා විසින් නියෝජනය කළ ක්‍රියාකාරිත්වයන් අපේ සමාජයන් ට සිදු වු බලපෑම අල්ප වුව ද එය වැදගත්  බව මගේ අදහසයි.  ලාංකික සමාජ සංවර්ධනය සඳහා වඩාත් ම බලපෑම් සහගත ක්ෂේත්‍රය ලෙස ඇය සම්බන්ධයෙන් මා දකින්නේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් ඇය ගේ මැදිහත් විමයි. ඒ සම්බන්ධයෙන් ඇය විසින් කරන ලද පුරෝගාමී මැදිහත් වීම් මගින් පුරුෂෝත්තමවාදි වටිනාකම් පද්ධතිය වෙව්ලුම් කෑමකට ලක් කිරිමට ඇය සමත් විය. ඇය සිය පෞද්ගලික භාවිතාවෙන් ම ඒ සඳහා පෙනි සිටි නිසා එය වඩාත් තීව්‍ර විය.ඇයගේ අභිතකම වඩාත් හොඳින් දැක්වුණේ මේ තලයේ හි ලා ඇය වෙත එල්ල වූ අපහාස-අවලාදයන් වෙත ඇය මුහුණ දුන් ආකාරයෙනි. එහෙත් අඩුව පැවතියේ පොදු සමාජ භාවතාවක් කරා එය ගෙන ඒමට ඒ මුළුමහත් ක්‍රියාකාරිත්වය අසමත් විම නිසා ය.

සුනිලා අක්කා පෙනි සිටි සටන්පාඨ මේ බිමේ පීඩිතයන් ට මිස පිඩක ආණ්ඩුව ට අයත් ඒවා නො විය. එහෙත් අධිරාජ්‍ය ගැති රාජ්‍යය සම වන සම්මුතියකට ඒ පෙනිසිටීමෙන් වූ  බාධාවක් නො විය. රාජපක්ෂ රෙජිමය මෙම කොලනිය පවත්වා ගෙන යාමෙහි සමත්භාවය තහවුරු කිරිම ට අසමත් වන මොහොතක එය කිරිමට සමත් වන ආකාරයේ වෙනත් රෙජීමයක් මාරු කිරිමට අවශ්‍ය ‘සමබිම‘ ව්‍යාපෘතිය පෝෂණය කිරීමට ඇයගේ කැපවීම තේරුම් ගත හැක්කේ ආණ්ඩුව සමඟ ආරෝවට ගිය ද ලිබරල්වාදය හරහා ඇයට ඇති අධිරාජ්‍යගැති ධනේෂ්වර රාජ්‍යය සමඟ ඇති සහජිවනය සමඟින් විය යුතුය. ලාංකික ලිබරල් ව්‍යාපාතිය  කෙතරම් කුහකදැයි හොඳින් ම පෙනි යන්නේ මෙන්න මේ තැන්වලදි ය. සමබිම හරහා ගොඩනගන ‘සමගි බලවේගය‘ ආදී ව්‍යාපෘති සඳහා සුනිලා අක්කා මුදල් අදිද්දී සුදර්ශන එහි ආකර්ශකයා ලෙස ක්‍රියාත්මක වෙයි. ඔහුගේ ප්‍රකාශන සුනිලා ගැන මුඛරි වෙද්දී, ඒ ව්‍යාපෘති පිටුපස නිර්මාපකයා නැතහොත් සම කර්තාවරයකුවත් වන දිප්ති  මිය ගිය අය ගැන නුගුණ කිමට හොඳ නැති නිසා සුනිලා ගැන කිසිවක් කිම ප්‍රතික්ෂේප කරන බව පවසයි.

මට දැනෙන්නේ සුනිලා අක්කා විසින් නියෝජනය කළ ක්‍රියාකාරිත්වයේ තිරිංගයන්, බාධකයන්, බොරුවලවල් ආදිය ගැන කුහක ද්වේෂයේත්, මරණය තුළින් ඇති වු භාවාතිෂමය වු සෞන්දර්යයේත් ගිලීමෙන් තොර ව විග්‍රහයක් කර ගත යුතු බව ය. එහි දි සුනිලා අක්කා එම ක්‍රියාකාරිත්වයේ දිප්තිමත් සංකේතයක් ලෙස සැළකීම අවශ්‍ය වනු ඇත.            

Sunday, September 8, 2013

පික්-පොකට් ගැසීමේ කලාව හා ප්‍රතිවිරෝධය ගොනා ට ඇන්දවීමේ කලාව

ඔන්න හිතන්නකෝ දැන් මේ පිටකොටුව පැත්තේ යමින් ඉන්නවා කියලා. එක පාරටම පර්ස් එක පොකට් ගහගෙන එකෙක් පැනපි ! පර්ස් එකේ අළුත් අයිතිකාරයා ලෝකයේ ඕනෑම බාධක දිවීමේ ශූරයෙකුට වඩා දක්ෂ විදියට අර මහසෙනඟක් මැදින් ඉදිරියට ම ඇදී යනවා. පරණ අයිතිකාරයත් යළි අත්පත් කර ගැනීමේ මෙහෙයුමක ! ඒ වෙලාවේ ලෝකේ තියෙන ඉහළ ම ධෛර්යය අර ගෙන ලුහු බඳින ගමන් සපෝට් එකක් ඉල්ලල බෙරිහන් දීමේ ද්විත්ව කාර්යයක ! අපරාදේ කියන්න බෑ......අසාධාරණය, අයුක්තිය නො-ඉවසන මිනිස්සු මේ ලෝකේ-රටේ කොයි තරම් ඉන්නවද....කෑ ගහන්නත් කළින් ම පස්-හය දෙනෙක්ගේ පිරිසක් සපෝර්ට් එකට සෙට් වෙලා ! දැන් පර්ස් එකේ මුල් අයිතිකාරයටත් වඩා උද්‍යෝගිමත් ව ලුහුබැඳිමේ කටයුත්ත කරන්නේ ඒ අය. කොටින් ම කියතොත් මුල් අයිතිකාරයා ට පැත්තකින් ඉන්න කියලා මේ අය දැන් වැඩේ අත ට අරන්.
ඒත් කතන්දරේ හරියට ම තේරෙන්නේ පස්සේ නේ. (ඇත්ත ම කියතොත් මේ සීන් එකේ තිරයෙන් පිටිපස්සේ කේස් එක දකින්න ඉඩක් නැති නිසා ගොඩ දෙනෙකු ට මේ කතන්දරේ තේරෙන්නේ ම නෑ) අර ‘සපෝටර්ස්‘ ලා සෙට් එක තරඟෙට එන්ටර් වෙලා තියෙන්නේ මුල් අයිතිකාරයා ගේ සපෝට් එක ට නෙවෙයි. දෙවැනි අයිතිකාරයා ගේ සපෝට් එක ට ! පස්සේ ඒ ගොල්ලා එකතු වෙලා ‘යහපත් සමූපකාරිකයෝ‘ වගේ ප්‍රජාතන්ත්‍රවාදය ට හා සාමකාමි සහජිවනය ට අකුරකින්වත් හානියක් නො වන විදිය ට, ඕනැනම් ඌනපූඍණයක් විදිය ට සමාජවාදයටත් එකඟ ව අර පර්ස් එක වගේ දේපළ බෙදා-හදා ගන්නවා !!!
මේ සීන් එක අකුරු කරන්න අදහසක් පහළ වුණේ  පහු ගිය දවස්වල මෙහෙ සැපත් වෙලා ගිය නවනිදම් පිල්ලේ නෝනා වටේ කරකැවුණු සිද්ධිදාමය දකිද්දී. මෙහෙට එද්දී සුළි සුළං-මෙහෙන් යද්දි මඳ පවන් ! එක්සත් ජාතින්ගේ සංවිධානය ගැන- විශේෂයෙන් ම පිල්ලේ නෝනා ගැන බලාපොරොත්තු එල්ල ගෙන හිටපු අසරණ වින්දිතයන් ට වුණේ තමන් ට තිබුණ බරව කකුලෙන් ගැහුව වගේ වැඩක්. එක අතකට මේව මෙහෙම වුණ එකත් හොඳයි. මොකද දැන් බරව කකුල් ගැන විශ්වාසය අතෑරලා හොඳ කකුල ට වාරු දිල හිටගතෑකි නේ.
සුළි සුළඟ නිසා ගොඩක් දේවල් වුණා නො වුණත් අඩු ම ගානේ වුණා වගේ පෙණුනා. වෙඩි වැදුනු (තබනු ලැබු කිවොත් අප්සෙට් නේ) වැලිකඩ හිරගෙදර බිත්ති-ගේට්ටු පිළිසකර කෙරුණා. හිරකාරයෝ ‘නිදහසේ‘ ඉන්නවා වගේ පෙනෙන එළිමහන් හිරකඳවුරක් වුණත්, එහෙ ම නොකියන උතුරේ ඩෙඩි ‘වැදුනු‘ වාහන පවා අතුරුදන් කෙරුණා. සර්වබලධාරි ජනාධිපතිතුමා කියන එක ම ඇමතිවරයා යටතේ වුණත් පොලිසිය වෙන ම අමාත්‍යාංශයකින් සිවිල් වුණා. වැරදිලා හරි ‘අපරාදෙකට‘ මිලිටරියේ ඇත්තෝ සම්මාදන් වෙලා ද කියල හොහල බලන්න ‘පරීක්ෂණ‘ කොමිසන් පත් කෙරුණා. රතුපස්වල දි වෙඩි වෙඩි තැබීමේ නියෝග දුන්නා කියපු මිලිටරි ලොක්කො පස්දෙනෙක් ම ගෙදර යැව්වාල තාවකාලික ව- ‘පරික්ෂණ‘ කටයුතු ඉවර වෙන තුරු.මේ වගේ දහසකුත්-එකක් කටයුතු දැන වදාරලා පිල්ලේ නෝනා කියපි “ලංකාව හරි ම ෂෝක් නේ“ කියලා. ඔය අතරවාරේ ආණ්ඩු කරන බබාලගේ හරිහමන් අනුදැණුමක් නැති ව මේ දවස්වල තමන් ගේ නිත්‍යානුකූල පුත්‍රයා ට පණ බේරාගන්න ලෝකේ කොහේ ම හරි පරදේසක්කාරයෙක්(උන්නාන්සෙගේ වචන අනූව) සරණ යන්න පිට-පොට ගහන ඇමැත්තෙක් ඇතුළු කීපදෙනෙක් ගේ ශ්‍රී කියුම්-විහිළුවංශ, බලු සේනා වගේ අයගේ ශ්‍රි කෙරුම් ගැන හිතට ටිකක් අප්සෙට් කීවා ම ලොකුතුමා කිවා ලු “ සොරි අනේ, මේ අපේ සමහර බබාලගේ උපන් හැටිනේ“ වගේ කතාවක්. එතකොට පිල්ලේ නෝනත් කීවලු “ අනේ කමක් නෑ අනේ. කෙහොම වුණත් අර ඕගොල්ල පත් කර ගත්ත, ඕගොල්ලන් ගේ කොමිසන් සභාවල තීන්දු ටික මේ දැන් කරල තියෙන හරිය වගේ සම්පූර්ණ කර ගෙන යන්න. නැත්නම් ඒව කරන්න කියල අපට බල කරල කියන්න වෙනවා හොදේ“ කියල.
මේ නාට්ටිය මෙහෙමවත් නොවුණොත්, ඔය ‘ප්‍රජා-තන්ත්‍ර-අන්දරේ‘ බැලන්ස් කරගන්න අමාරු වෙනවා කියන එක ගැන මේ කවුරුත්  අවදියෙන් වෙන්න ඇති ඉන්නේ.
ඉතින් අර පික්-පොකට් කතන්දරේ එක්ක පූර්ව-අපර සන්ධි ගලපාගැනීම දැන ට පාඨක උත්තමයන් වන ඔබ ට බාරයි. පස්සේ පුළු-පුළුවන් විදියට අ-පාඨක උත්තම හුදි ජනයන් එක්කත් බෙදාගන්න ක්‍රමයක් ඇතොත් මරේ-මරු. කර්තෘභාග අපේක්සාවක් නෑ. දැනට අපි එකතු වෙලා මේ ගලපා ගැනිම පටන් ගනිමු කෝ.
පිල්ලේ නෝනා සහ ඒ වර්ගයේ කට්ටියගේ නැවත-නැවත පිරිනැමෙන අනගි අවස්ථා ගැන ඔළුවට ආපු තවත් සීන් එකක් ගැන ඊළඟ පෝස්ටුවකින් අකුරු කරන්න අපේක්සාවක් තියෙනවා ඕන්.