Showing posts with label අ-වේලාවේ අහන්න-දකින්න ලැබෙන දේවල්. Show all posts
Showing posts with label අ-වේලාවේ අහන්න-දකින්න ලැබෙන දේවල්. Show all posts

Monday, June 23, 2014

සිල්ලර කේස් තොග වටිණාකමට කොන්වර්ට් කිරීමේ කලාව පට්ට දේශප්‍රේමී එකකි....$@%^&*

ඔන්න මම මහපාරේ යමින් ඉන්නවා. නිකමට කියන හැටියට වුණත් අපි ඕනැම කෙනෙකුට මහ පාරේ යන්න තහංචියක් නෑ නොවැ. මගේ වාහනේට ඉස්සරහින් යන වාහනය පට්ට කබල් එකක්. ඒක හිටු කියල ගාටනවා. අයියෝ ! මේවා පාරට දාන්න තාමත් ඉඩ දෙනවනේ ! ලංකාවේ නීතියයි, ඒවා ක්‍රියාත්මක කරවන පොරවලුයි ගැන මට කන්න කේන්තියි. මට හදිසියි. කීප විටක් ම ඉස්සර කරන්න හැදුවත්ඉස්සරහ වාහනයේ  ‍පොරවල් මට පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නෑ.  උන් ඒ මදිවට මායි, මගේ වාහනයේ ඉන්න අනිත් අයවයි පෙන්වමින් මොනවද කියනවා. නක්කලේ දානවා වගේ. දැන්නම් කේස් එක ට්‍රැෆික් සිමාව පැන ගෙන ගිහින් පර්සනල් කේස් එකක් වේගෙන එනවා. හුහ් ! මෙන් ඊළඟට අර වාහනයේ පොරවල් බෙල්ල එලියට දාගෙන අපිට මොනවද කියනවා. "ඕයි, හදිසිද ? හදා ගන්නවා තමුසෙලටම කියලා පාරවල්"  මේ විදියට කියද්දී අපේ වාහනයේ ඉන්න පොරවලටත් යකා නැඟගෙන-නැඟගෙන ගිහිල්ල දොට්ට පැනපි. "ඇයි තොපි හිතුවද පාර තොපේ කියලා!" දැන් වාහන දෙකේ ම පොරවල් මෙහෙයවන්නේ යක්කු විසින් ! ඊළඟ විනාඩි කීපයේ දි යක්කු එළියට පැනගෙන අතින් පයින් ප්‍රශ්නේ බේරගන්න මට්ටමට සංවර්ධනය වුණා !

දැන් ඔන්න මේක පොලිස් කේස් එකක් වෙච්චි ! මේ අ-වෙලාවේ ඉතාම වැදගත් වුණා අපේ වාහනයේ බෞද්ධ චිවරධාරී-කෙළින් ම කියතෙ‍ාත් භික්ෂූන් වහන්සේ නමක් හිටපු එක. අපි හොයා ගත්තා, අනිත් වහනය මුස්ලිම් කියලා. වාහනයේ ගිය පොරවල් ඇඳ-පැලඳ යිටි හැටි, ඒරියා එකේ හැටි, කතා කරපු හැටි වගේ සියළුම ලක්ෂණ ගැන ඉතා ම වැදගත් විද්‍යාත්මක නිරික්ෂණ අනුවයි මේ හඳුනාගැනිම කළේ. දැන් ඉතින් වැඩේ ප්‍රත්‍යක්ෂයි නේ. 'හම්බයෝ(පිටසක්වල වාසින් පිරිසකි) අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පිරිසකට පහර දෙති' පට්ට ස්ලොගන් එක ! මේ වගේ එකක් වෙන ඕන ඕනැම ගන් එකකට වඩා පවර්ෆුල් ! අනිත් ගන් නිකම්ම පත්තු කරවතෑකි මේ ස්ලෝ-ගන් එකෙන්. හුහ් ! පොලීසිය ගිහින් අනිත් වාහනයේ එකෙක් කුදලගෙන ආවා. "කො අනිත් උන් ? එතැන හිටපු ඔක්කොම අත්අඩංගුවට ගන්න තොපිට බැරි වුණාද ?" මෙන්න වැඩේ නැගලා යනවා.
දැන් ස්ලෝගන් එක මෙහෙමයි. "පිටසක්වල ජිවින් පිරිසක් වන හම්බයන් විසින් අති උත්තරීතර අපගේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ සමඟ ගමන් කළ සැදැහැවතුන් පිරිසකට  අපහාස කොට, පහර දි ලේ සොළවා ඇත. ‍පොලීසිය ද මේ හමුවේ නිද්‍රාශිලී වෙමින් පිටසක්වල වාසී හම්බයන්ට සහාය දෙයි. මහපොළොවේ උරුමක්කාරයන් වන අප, අපගේ මහපොළොව මත ම අනාථ- අසරණ වී ඇත."
මුළු ලෝකයමත්, පිටසක්වල වාසින් සමඟ එක් වි මේ වැනි මොහොතවල අප ව ගිල ගැනීමට බලා සිටින බව, (හරියට ම බෞද්ධ නොවුණත්) විෂ්ණු දෙවියන් විසින්ද අපට පැහැදිලි කර දී ඇති නිසා ගැලවිමක් ඇත්තේ 'අපේ-අපේම' වරිගයේ ගැලවුම්කාරයන්ගෙන් පමණකි. ඒ නිසා තියෙන පොලිසිය-මිලිටරියටත් වඩා ෂෝක් එකට වැඩ කළ හැකි 'බොදු බලු සේනා' ප්‍රමුඛ නා නා වරිග සේනා දැන් සීන් එකට එන්ටර් වෙති. මේ ඇවිත් හුදු 'ට්‍රැෆික්' ප්‍රශ්නයක්, 'නීතිය හා සාමය බිඳවැටීමේ පොදු තත්වයක ප්‍රතිපලයක්' කියලා විග්‍රහ කරන්න යන ජාතිද්‍රෝහීන්-දේශද්‍රෝහින් මේ සීන් එකෙන් එලියේ ති‍යන එක අනිවා කරන්න ඕන; මොකද උන් ඇවිල්ල මේ පැහැදිලි කිරිම් කළාට පස්සේ, අමාරුවෙන් ගෑස් ගහල වගේ පුම්බගත්තු 'ජාති වාත්සල්ලේ' ඕජස එළියට පැනලා, සැර වාෂ්ප වෙලා යතෑකි ලේසියෙන් ම !
පොල්ලෙන් ගහල, ලේ වගුරලා, යකඩින්කොටු කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන් බවත්, ගෞතම බුදුන්ගේ හේතු-ඵල ධර්මය පවා ඒ අනුව වැරදි බවත්, බුදුදහමටත් වඩා විද්‍යාත්මක සත්‍යයන් හෙළිදරව් කරල, (ඒ නිසා ම බුදු දහමටත් රැක‍ෙන්න වෙන්නෙත් මේ සක්වලේ තමන් යටතේ  විතරක් බව නිසැකව ම ඔප්පු කරල) අපේ මහ රජු ඇතුළු එක්සේසත් පාලක පවුල්-අනු පවුල්-අනු අනු පවුල් හත්පොළේ ගා ගෙන ඉන්න මේ වගේ වේලාවක, වැඩි වැඩියෙන් මේ වගේ ට්‍රැෆික්, වැට-කොටු, පික්-පොකට්, අසභ්‍ය වචනෙන් පිටසක්වල බසින් බැන වැදිම්, ගස් ගෙඩි කැඩිම්, විරිත්තිම්, ඇස් කොනින් බැලිම්,.......වගේ නහුතයකුත් තව ටිකක් කේස් එනවානම්......අර සේනාවේ හා අනිකුත් සේනාවල පිහිටෙන් තව ටික කාලයක් හරි උන්නාන්සේලාට වැජඹෙන්නට ඉඩ හදා දීමේ පින් මහිමයම.............................හපොයි ඇති නේ......!!!
   
 


Tuesday, June 10, 2014

ලට්ට-ලොට්ට සංධානේ කල -දවස..........

විමල් වීරවංශ මහත්තයගේ 'පක්ෂය' , "ආණ්ඩුවෙන් එළියට බහිනවා" කියලා ආයෙමත් 'තර්ජනයක්' කරලා ! එළියට බැසීම සඳහා කොන්දේසිය තමයි, එම 'පක්ෂය' විසින් ඉදිරිපත් කරන ලද යෝජනා-නිර්දේශ හෝ සමාන අර්ථයකින් හඳන්වනු ලබන කතන්දර ඉටු නොකිරීම ! http://lankacnews.com/sinhala/main-news/115085/ලිංකුවෙන් මේ කියන කතන්දර දුසිම කැමති කෙනෙකුට ඒ හඬින් ම කියව ගන්න පුළුවන්.

ගොඩ දෙනෙක් මේ ගැන කිව්වේ "මේ තවත් රඟපෑමක්" විතරයි කියලා. එහෙම කියපු අය අදහස් කළේ, ඇත්තට ම කෙරෙනවානම් මේ දුසිම හරි ෂෝක් කියලද මන්දා....මටත් දැනෙන විදියටනම් මේ තවත් පට්ට රඟපෑමක් ම තමයි. ඒත්, ආණ්ඩුවෙන් පරිබාහිර එකක් නොවෙයි; මහා ආණ්ඩු යන්ත්‍රය ඇතුළේ කෙරෙන තවත් එකක්. කොටින් ම මේ ආණ්ඩුවේ නාටකයේ ම තවත් එපිසෝඩ් එකක් විතරයි.

වීරවංශ මහත්තයාගේ මේ වර්ගයේ මීට කළින් හැසිරීම් ටික අරන් බැලුවාමත් ඒ බව පේනවනේ. සාමාන්‍යයෙන් වෙන්නේ මෙන්න මෙහෙමයි; මේ ආණ්ඩුව හරියට 'කතරගම දෙයියන්ගේ පිංතූරයක්' වගේ. 'වගේ' කීවට, වගේමත් නෑ. එකම සමානකම තමයි, මූණු දුසිම් භාගයයි, අත්-කකුල්(?) දුසිම ගානේ පිහිටලා තියන එක.  දැන් ආණ්ඩුවට ජාත්‍යන්තර හොඳ-හිත වගේ දෙයක් ඕන කියමු, සල්ලි ටිකක් හොයාගන්න වගේ වැඩකට. එතකොට ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාව කියනව නොවැ වීරවංශ මහත්තයා මේ දැනුත් දානව වගේ 'කොන්දේසි' කතන්දර. දැන් ඒවා නෑහුනා වගේ ඉන්නත් බෑ. ඉතින් මොකද කරන්නේ? ඕන්න, වීරවංශ, රණවක වගේ අපේ දේශප්‍රේමී මහත්තුරු කල-එලි බහිනවා ඒ වේලාවට('බස්සනවා' කිවත් අවුලක් නෑ) ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනම් කරනු;  පළාත් සභා අහෝසි කරනු වගේ තොවිල් ටිකක් නටනවා. ඉතින් ආණ්ඩුව කියනවා, "අපේ ආණ්ඩුව ලොකු විවිධත්වයකින් යුතු ආණ්ඩුවක්. ඉතින් අපි නම් මේකට කිසි ප්‍රශ්නයක් නෑ. ඒත්, ප්‍රජාතන්ත්‍රවාදීව අපි අනිත් අය ගැනත් හිතන්න එපා ය" කියලා. අර තොවිල්-පවිල් කරන කට්ටිය පෙන්නන එකයි තියෙන්නේ. එතකොට 'ප්‍රායෝගික සමතුලිත' තැනක් තෝරා ගන්න පුළුවන් නොවැ ඒ කට්ටියටම අපහසුවක් නොවෙන විදියේ.

දැන් මේකේ නාට්‍යමය ගුණ ගැන මට දැනෙන්න තවත් පට්ට හේතුවක් තියෙනවා. ඒ තමයි වීරවංශ වගේ මහත්තුරුන්ගේ 'පක්ෂ' කියන්නේ, මොන වගේ සංවිධාන ජාතියක්ද කියල. මේ කතන්දර දුසිම අනුමත කර ගන්න, කොළඹ සුගතදාස ස්ටේඩියම් එක පුරවලා, රොද බැඳ ගත්ත 'පක්ෂ සමුළුවක්' තිබුණා නොවැ. මේකට සම්බන්ධ වුණ චරිත දෙකක් එක්ක මට කතා කරන්න ලැබුණා.
"ඔයාල ඒකමතිකව යෝජනාවලියක් සම්මත කළා ලු නේද?" මම ඇහුවා නිකමට වගේ. අන් ඇවිත් මගේ පට්ට හිතවත්තු.
"මොන යෝජනාවලියක්ද !" තැන් දෙකකදි හමු වුණත් මේ දෙන්නම එක පාරටම මගෙන් ඇහුවේ එකම ප්‍රශ්නේ.
" ඇයි; අර ඕගොල්ලන්ගේ වීරවංශ ඇමති තුමාගේ පක්ෂ සම්මේලනයේ........"
"මොන සම්මේලනයක්ද ?"
දෙයියනේ! මුං දෙන්නම ඒකටත් එකම උත්තරේ. ඒත් මම දන්නවා මෙයාල එහෙම එකකට ගියා කියලා. බොරු කියන්න ඕනකමකුත් නෑ. එහෙනම් මේ මොකක්ද කියන්නේ ? පස්සේ බැලින්නම්; ඇත්තටම ඒකට ආපු ගොඩාක් අය වගේ ම එයාලත් දන්නේ නෑ ඒ ගොල්ල ගිය වැඩේ මොකක්ද කියලා. ඇත්ත වශයෙන් ම එතනින් කෙනෙක් වීරවංශ මහත්තයා ඇමති හැටියට වලංගු ආයතනයක රස්සාව කරන්න සිදු වුණ කෙනෙක්; අනිත් කෙනාගේ ගර්භනී බිරින්දෑ එහෙම තැනක රස්සාව කරනවා. ඉතින් මේ රස්සාවල් ආරස්සා කරගැනීම මිස වෙන කිසිම ...................ක් මෙයාල කාටවත් නෑ ! දැන් විහිලුවංශ මහත්තයගේ ම උදාහරණය පෙරට ගෙනිච්චොත්, ඒ ආයතනවල රස්සා කරන අයට අතිරේක ව ඒ අමාත්‍යාංශයේ ‍සේවාවන්ට හිමිකම් කියන, ඒත් වන්දිභට්ටකම් කිරීමෙන් තොරව ඒවා නොලැබෙන බව තේරුම් අරන් ඉන්න කට්ටියත් මේ වගේ තැන්වල හිස් ඉඩ පුරවන්න දක්කගෙන එනවා.
"බස් එකක් එනවා.අහවල් අය ඔක්කොම නගින්න කියනවා. සමහර විට යනකම් දන්නේ නෑ මොකටද-කොහාටද-මොනව කරන්නද වගේ දේවල්. තවත් සමහරක් විට ගිහිල්ල ඇවිල්ලත් දන්නේනෑ !"
මේ කියන 'සම්මේලනය' දවසේ වැඩ කරන අයට කීවලු "හාෆ් ඩේ එකක් දාල එන්න" කියලා. ඒත් මැතිවරණ කාලේ පවා ගොඩක් වෙලාවට මේවාට ලොක්කන්ගෙන් 'ඩියුටි ලිව්' ලැබෙනවා.සමහර දාට මොන ම ලිව් එකක්වත් නැතිව ගිහින් එන්නත් පුළුවන්. ලීව්ද-නැද්ද-ලීව්නම් මොන වර්ගයෙද වගේ හැම දෙයක්ම ලොක්කෝ හරහා තමයි තින්දු වෙන්නේ. ආයතන ලොක්කෝ ඒවා තින්දු කරන්නේ අමාත්‍යාංශ ලොක්කන්ගේ හිත් සන්තෝස වෙන විදියට. අමාත්‍යාංස ලොක්කෝ බලන්නේ ආණ්ඩුවේ ඇත්තන්ගේ හිත් සන්තෝස වෙන විදියට ඒව කරන්න. ඒ ඇත්තෝ බලන්නේ මහරජතුමාගේ.......! කෙළවරක් මට හිතා ගන්න බෑ. ඔන්න මේක බ්ලොග් එකට දාන්න ඔන්න-මෙන්න තියලා ආරංචි වුණා මේ තාලෙටම අද කට්ටිය ගෝල්ෆේස් එක්ක ගියා කියලා ! (ඒ තමිල්නාඩු මහඇමතිනි-ජයලලිතා‍ ගේ ප්‍රකාශයකට විරෝධය පළ කරන්නලු;ඒත් 'ප්‍රකාශය' මොකක්ද කියලා දන්න විරෝධතාකරුවෝ හොයාගන්න පට්ට අමාරු වුණා ලු ! (හපොයි 'ජන-මතය' ! )
දැන් ඉතින් මේ විදියේ 'ජනපදනමක්' නම් මේ උන්නැහේ්ලට තියෙන්නේ, ආණ්ඩුවෙන් එළියට ආපු දවසක ඒ උදවියට යන කලදවසක් ගැන හිතාගතෑකි නේ ! ඉතින් එයාල ආන්ඩුවෙන් එළියට ගියොත්, ඒ යන්නේ මේ ආණ්ඩුව වැටෙන්න ඔන්න මෙන්න කියල ෆුල් ෂුවර් පිට ඊළඟ එකකට සෙට් වෙන්නයි ඒ. මොකද, මේවර්ගයේ කට්ටිය ආණ්ඩු බලයෙන් එළියට විසි වුණ ගමන් වැටෙන්න කුණු කූඩවත් නැති වෙනවා කියන එක අනිත් හැමෝටම වඩා දන්නේ එයාලමයි !

    

Thursday, April 3, 2014

ජනතාවට එරෙහි ව ජනතාව ! (රෝහලින් එහා ගිය අලි ලෙඩක්)

රෝහල් කාර්ය මණ්ඩල එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගනිමින් සිටිති. කාගෙනුත් අපට අසන්න ට ඇත්තේ 'තොප ට ලැජ්ජාවක් නැද්ද' යන්න පමණි. එහෙත් ලැජ්ජාවක් නැතිකම ම අභිමානයක් වූ රටක ඒ ප්‍රශ්නය අසා තේරුමක් නැති බැවින් කළ යුත්තේ කුමක්දැයි සිතාගැනීමේ නොහැකියාවකින් පෙළීමේ ඉරණම ට ගොදුරු වී සිටිමි.

ඊයේ සිට පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැඩවර්ජනයේ ය; ඒ හෙදියන් ට සූතිකාගාර පුහුණුව ලබා දිමට එරෙහිව ය. අද සිට හෙද-හෙදියන් වැඩවර්ජනයේ ය. ඒ ඔවුන් ට සූතිකාගාර පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලමිනි. හෙද- හෙදියන් ට එම පුහුණුව දිම ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ බව පැවසෙතත්, ඊට හේතුවක් පැහැදිලි නැත.  පැහැදිලි හේතුවක් තිබුණත්-නැතත් ඔවුනුත් විරුද්ධ බවනම් පැහැදිලි ය. දැන් මේ සමහන් කළ නොහැකි පටලැවිල්ල මතු වී, පැතිරෙමින් ඇත්තේ එක ම සේවාස්ථානයක, එකට වැඩ කරමින් සිටින කණ්ඩායම් අතර ය.  ඉලක්කය කොහොමටවත් සේවාලාභින් වන රෝගින් නො වේ; අඩු ම ගණනේ සහෝදර සේවක-සේවිකාවන් ද නොවේ. (සමාවන්න; ඔවුනගේ සහෝදරත්වය වාත්තීය පටියකට සීසා වූවක්දැයි නොදනිමි. එහෙත් දිගු-දුර විමසතොත් එහෙව් එකක්වත් එතැන නොමැති බැව් හොදට ම පැහැදිලි වනු ඇත)

මේ පට්ට කුහකකමක් ලෙස හදුන්වන බ්ලොග් සටහන් දුටුවෙමි.  මම ද ඒවා සමඟ සම්පූඍණයෙන් ම- හැකිනම් ඊටත් එහා එකඟ වෙමි.

එහෙත් ප්‍රශ්නය ඒවායේ දක්වා ඇති පමණටත් වඩා පැතිරුණ එකකි.  සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වෘත්තීය පට්ටම් කුහකත්වය සඳහා නම් දැරූ තැනකි. එහෙත්, එසේ ඇත්තේ ඒ තැන පමණක් ද? බියජනක හා අප්‍රසන්න කරුණනම් මෙය කොහෙත් ම එතැනට සීමා වූවක් නො වීම ය.   සටන් හැටියට එළියට නොආවත්, අභ්‍යන්තරික යටිකූට්ටු මෙන් ම අප්පිරියාජනක නිල තීන්දු මගින් ද විසඳා ගෙන ඇති පරිදි බොහෝ රජයේ කාර්යාලවල කෑම කාමරය, විවෙික ස්ථානය, වැසිකිලිය පවා මෙසේ වෘත්තිය ධූරාවලීන් අනූව බෙදා වෙන් කොට ඇත. ධූරාවලිය ට අනුව පහසුකම් ද ධූරාවලිගත කර ඇත. පාසල වූ කලි මෙම අසමානාත්මතාවය මුළින් ම පුරුදු-පුහුණු කරන තැන ලෙස හඳුනා ගත හැක්කේ සිසු-ගුරු-විදුහල්පති ලෙස පොදු පහසුකම් ධූරාවලීගත කිරීමෙනි. සරසවියේ දී 'ජේස්ට උත්තමයන්' බව ට තමන් විසින් ම තනතුරුලාභී වන ශිෂ්‍ය පරපුර මගින් ම මේ අසමානත්වයේ සම්ප්‍රදාය සජීවිකරණය කෙරේ.  ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ ඇති සමානාත්මතා නීතිවලින්වත් හවුහරණක් නැතිව අනාථ වන මෙවැනි අවස්ථා රජයේ ආයතනවල උඩපිනුම් ගසද්දි අනෙක් ආයතන ගැන කවර කථා ද !

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතාවට ආවත් අපි මේ තුච්ඡ අසමානතා සම්ප්‍රදායයන් හැම තැන ම ක්‍රියාත්මක කරමින් නොසිටිමු ද? අපේ පිළිකුල මේ මුළු මහත් සම්ප්‍රදාය කෙරේ ම එල්ල විය යුතු නො වේද?  

ප්‍රශ්නය -නැත්නම් අර්බුදයට යටින් ඇති මූලික හේතුව ලෙස මා දකින්නේ, ලංකාව අඩු දියුණු රටක් වීම තුළ ය. අඩු පහසුකම් සොච්චම තුළ තමන් ගේ පට්ටම හා මඬිය පමණක් නැති උත්තරිතරත්වයකට පත් කර ගන්නට අවශ්‍ය හීනමානි මානසිකත්වය ට මෙය සරු පොළොවකි.  මුළින් කී කුහකත්වය ට හේතුව මෙය යයි සිතමි. මෙය පරාජය කළ හැක්කේ දියුණු වෘත්තිය සමිති විඥානයක් තුළිනි. එවැන්නක් අනිවාර්යෙන් ම වැඩ කරන සාමාන්‍ය ජනයා ට වඩා ඉදිරියෙන් දකින්නත් විය යුතු ය. එවැන්නක් කළ හැක්කේ දියුණු දේශපාලන ව්‍යාපාරයක මඟපෙන්විමක් ඇත්නම් පමණි. එහෙත් අප ට එවැන්නක් ද අැති බවක් නොපෙනෙයි.  පක්ෂ සම්බන්ධ වුව ද-නැතද, (ඒවා සැබෑ 'පක්ෂ' නො වන බැවින්) ඒවා යේ වෙනසක් නැත. බොහෝ විට වෘත්තිය සමිති ඇත්තේ සේවකයන්ටත් වඩා පසු පසිනි.  ඒ නිසා ප්‍රතිඵලය වි ඇත්තේ අතිශයින් ම ‍'පෞද්ගලීකරණය'ට ලක් වි ඇති සේවකයා ගේ-සේවිකාව ගේ පිළිබිමුව ම පෙන්වමින්, ඒවා ද මේ පටු කුහකත්වයේ ප්‍රකාශකයන් බව ට පත් විම ය. මෙය අභියෝග කළ හැකි ගැඹුරු සමාජ ව්‍යාපාරයන් ද අප සතු නො වේ.

අඩු ම ගණනේ එවැන්නක් සඳහා මේ වැනි ලිවීම්වලින් වත් කිසිවක් වේ දැයි සිතා ගත නො හැක. එහෙත් ඒ වෙනුවෙන් දකිනා සිහින මෙසේ හෝ සටහන් කර තැබිම වැදගත් වනු ඇතැයි නො සිතමු ද?

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතු ව ඇති මේ මොහොතේ අර්බුදය ට වහා ම ගෙන ආ යුතු ප්‍රගතිශිලි විසඳුම ලෙස මා දකිනුයේ හෙද නිපධාරිනින් ට පමණක් නො ව හෙද නිලධාරින්ට ද සූතිකා පුහුණුව ලබා දෙමින් සියළුම පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙද සේවය ට අනුයුක්ත කරගැනිමයි. අදාල පුහුණුවේ දි ඔවුන් ගේ සේවය උපදේශක පදනමකින් ද ලබා ගත හැකි වනු ඇත.  ඔවුන්ගේ ක්ෂේත්‍ර රාජකාරි ආදි සුවිශේෂතා සළකා වැටුප් විෂමතාවන් ට හේතු නො වන පරිද්දෙන් ශ්‍රේණි ගත කිරීමේ හැකියාව විමසිය හැකි වනු ඇත.

කෙසේ වුව ද, වැඩපොළ මට්ටමේ ඇති මේ කුහක අසමානාත්මතා සම්ප්‍රදාය අතු ගා දැමිම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත. ඒ වන තුරු ජනතාවගේ අයිතිවාසිකම් මැඩ පැවැත්වීම-උදුරා ගැනිම ගැන ආණ්ඩුවලට-සියළු ආකාරයේ මර්දකයන් ට වෙහෙසක් නො දී, ඒ කාර්යයනුත් අදාල ජනතාව විසින් ම ඉටු කර ගනු ඇත.
 
     

     

Tuesday, September 17, 2013

සුනිලා අබේසේකර ගැන පමා වූ සටහනක්

සුනිලා අබේසේකර නික්ම ගියාය !

ඇය, සිය කයින් ජීවතුන් අතර සිටියදී මා ඇය හඳුනාගත්තේ ‘සුනිලා අක්කා‘ ලෙස ය. සුනිලා අක්කා අවසන් හුස්ම හෙළු බව මිතුරියකගේ දුරකථන පණිවුඩයකින් මට දැනගන්නට ලැබුණු ඒ දහවල් මැදියමේ මට දැණුනේ හදවතත්, බුද්ධියත් බර කරන කාන්සාවක් සහිත හිස් තැනකි. ඇය ගේ මරණය පිළිබඳ මෙම පුවත මට මහා අරුමයක් නො විය. පිළිකා රෝගයකින් පෙළෙමින් ඇය ගත කරන අවසන් හෝරාව හොඳින් ම දැන සිටි නිසා තවත් දිගු කලක් ඇය ජීවතුන් අතර රැඳෙතැයි අපේක්ෂාවක් මට නො වීය. එහෙත් ඇගේ මරණය මගේ ප්‍රාර්ථනාවක් ද නො විය. ඇගේ මරණය ප්‍රාර්ථනා කළවුන් සමඟ බෙදාගන්නට හෝ හවුල් වන්නටද මට දෙයක් නො වීය. සුනිලා අක්කා ගේ ජීවිතය, අපට අහිමි වි බොහෝ කලක් බව මට දැනෙන්නේ බොහෝ කල් පටන් ය. මට දැනුන කාන්සා සහගත හිස්තැන, මෙන්න මේ අහිමි විම යළි පිරවිමට සුනිලා අක්කා කවමදාකවත් ආයේනම් එන්නේ නැති බව ඒ පුවතත් සමඟින් පසක් විම ය. මගේ මෝඩ අපේක්ෂාව කුමක් වුවත් ඇතැම් විට ඇය කායික ව ජිවතුන් අතර තව කල්පයක් කල් සිටියද එය සිදු නොවන්නක් වනු ඇත.
මේ කාලයේ මගේ ජිවිතය පිරි ඇති වැඩකට නැති වැඩ කන්දරාව අතරින් පතර, ඇතැම් විට තවත් එවැනිම වැඩක් ලෙස පහුගිය දින කීපයේ සුනිලා ගැන ලිය වි ඇති බොහෝ දේ කියවුවෙමි. බොහෝ දේ ඇසූවෙමි. ඒ ඇගේ මරණය, (සැබැවින් ම ගතහොත් ඇය ගේ ජිවිතය) අපේ සමාජය විසින් කියවා ගන්නා ආකාරය කියවා ගන්නට ය.

හුදි ජනයා අතර බෙහෝ දෙනා ඇය පිළිබඳ නිශ්චිත යමක් දැන නොසිටි අතර ාණ්ඩුව හා විශේෂයෙන් ම ආණ්ඩුගැති මාධ්‍ය විසින් මවා පෙන්වන ලද චිත්‍රයට ඔවුන්ගේ සකල ඥානය සීමා විය !  මාධ්‍යයන් අතර වඩාත් ප්‍රගතිශිලි සමජ මාධ්‍යයන් අතර ද (මේ කියන්නේ සිංහලෙන් පළ වෙන ඕවා ගැන ය) මේ පටුභාවය දුලභ නොවිය. ඇතැම් අය සුනිලා අක්කාගේ පෞද්ගලික ගුණාංග ගැනත්, තවත් අය ඇයගේ කටහඬ හා ගායන-රංගන කලා කෞෂප්‍යයන් ගැනත් කියා “අනික්වා ගැන අපි දන්නැතෝ“ වගේ කථාවක් කියා ෂේප් වි ඇත. (සමාවන්න. ඇතැම්විට ඒ ඔවුන්ගේ ඇත්ත ම සීමාව විය හැක)තවත් ප්‍රතිචාරයන් අතර කතන්දරකාරයා කර තිබුණේ සුනිලා ගේ අභාවය ගැන පළ වී ඇති සියළුම ශෝකප්‍රකාශයන් සිය පෝස්ටුවේ දැමිම ය. w3ලංකා ලියන පැරකුම් මානව හිමිකම් සුරැකිම සඳහා ඇය ගත් ක්‍රියාමාර්ගයන් තුළින් ආණ්ඩුවට මෙන් ම කොටින්ටද විරුද්ධ වූ බව පෙන්වා දි මඩකාරයන්ගෙන් ෂේප් වන්නට වෑයම් කර තිබුණාක් සේ පෙනුනි. අරුණි ෂපිරෝ නම් සුනිලා ගැන ලියද්දී ඇයගේ සුපුරුදු විද්වත් තාර්කිකබව පවා පසෙක ලා මහා කුහකකමක් මතු කරගෙන තිබුණු බවක් පෙනි යයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ දී (එය සමන්විත වන්නේ ලංකාව වැනි රාජ්‍යයන්ගෙන් බව බොහෝ දෙනා ට බෙහෝ විට අමතක වෙයි )සුනිලා විසින් ලංකාවට (?) චෝදනා එල්ල කරන ලද්දේ ‘ත්‍රස්තවාදීන්‘ සමඟ එකට සිට ගනිමින් බව අරුණි පවසා ඇත්තේ ලංකාවේ පවතින ආණ්ඩුවේ මර්දකයන් සමඟ එක ට සිටගනිමිනි. ඒ ස්වරයන් දෙක අතර  කිසිඳු වෙනසක් දක්නට ඇත්නම් මට පෙන්වා දෙන මෙන් අයැද සිටිමි.

මට කියා ගන්නට ඇති, කොහෙන්වත් නොකියවුණු බව දැනෙන දේ පසුව මෙසේ හෝ අකුරු  කළ යුතුයයි හැඟුනේ මේ තත්වයන් නිසා ය.  

සුනිලා අක්කාගේ වියෝවට පෙර ද කාලයක් පුරා මට දැණුන ඒ හිඩැස කුමක්ද ?

සමගි පෙරමුණු ආණ්ඩුවේ හිටපු විදේශ ලේකම්වරයකු වූ සුනිලා ගේ පියා, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් වාමාංශයෙන් ගිලිහී යමින් මධ්‍යම පංතිකයන් අතට පත්වෙමින් පැවැති සමාජ ක්‍රියාතාරිත්වයන් හී පුරෝගාමී නායකයකු විය. මෙම පසුබිමේ ඉහළ මධ්‍යම පංතික බලපෑම සමඟ සුනිලා 70 දශකයේ සමාජ ක්‍රියාකාරිත්වයට ගොඩ වන්නේ උපන් ගෙයි ලිබරල්වාදිනියක් ලෙස ය. 71, 88-89 දකුණේ කැරලිවලදි ද, උතුරේ අරගලයේ දි ද ඇයගේ ක්‍රියාකාරීත්වය සළකුනු වන්නේ ඒ කැරලිවල ප්‍රකාශයට පත් පරමාර්ථයන් හෝ උපාය-උපක්‍රමයන් සමඟ එකඟතාවයකින් නො වේ. මේ අවස්ථාවන්හි දි මෙන් ම ආන්දෝලනාත්මක වූ ස්ත්‍රීවාදී ක්‍රියාකාරකම් සඳහා ද ඇය ගේ ම වූ න්‍යායපත්‍රයක් ඇය ට විය. ‘ඇයගේ ම‘ යන්න නිවැරදි නොවේ. ඇත්තටමනම් ඒ ලිබරල්වාදී න්‍යායපත්‍රයයි. එක්සත් ජාතීන් ගේ සංවිධානය වැන්නක් සමඟ එක් ව සුව-පහසුව ගමන් කිරීම ට ඇයට හැකි වන්නේ මේ තත්වය තුළ ය. මේ නිසා සුනිලා ගේ ක්‍රියාකාරිත්වයන් බරපතල සීමාවක සිර වි පැවතියේ ය. එහෙත් ඒ තත්වය  වින්දිතයන් ට හැර  මේ ක්‍රියාකාරිත්වයන් හි කිසිවකුටත් ගැටළුවක් ද නො වීය. එසේ වන්නේ සුනිලා ගේ සිමාවක් නිසා නොව ලාංකිය ලිබරල් භාවිතයේ සීමාවන් නිසා ය. ලෝක ධනවාදයේ පිළිකන්නේ හැටි මෙහෙම තමා ය.

තත්වයන් මෙසේ පැවතිය දි සුනිලා අක්කා විසින් නියෝජනය කළ ක්‍රියාකාරිත්වයන් අපේ සමාජයන් ට සිදු වු බලපෑම අල්ප වුව ද එය වැදගත්  බව මගේ අදහසයි.  ලාංකික සමාජ සංවර්ධනය සඳහා වඩාත් ම බලපෑම් සහගත ක්ෂේත්‍රය ලෙස ඇය සම්බන්ධයෙන් මා දකින්නේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් ඇය ගේ මැදිහත් විමයි. ඒ සම්බන්ධයෙන් ඇය විසින් කරන ලද පුරෝගාමී මැදිහත් වීම් මගින් පුරුෂෝත්තමවාදි වටිනාකම් පද්ධතිය වෙව්ලුම් කෑමකට ලක් කිරිමට ඇය සමත් විය. ඇය සිය පෞද්ගලික භාවිතාවෙන් ම ඒ සඳහා පෙනි සිටි නිසා එය වඩාත් තීව්‍ර විය.ඇයගේ අභිතකම වඩාත් හොඳින් දැක්වුණේ මේ තලයේ හි ලා ඇය වෙත එල්ල වූ අපහාස-අවලාදයන් වෙත ඇය මුහුණ දුන් ආකාරයෙනි. එහෙත් අඩුව පැවතියේ පොදු සමාජ භාවතාවක් කරා එය ගෙන ඒමට ඒ මුළුමහත් ක්‍රියාකාරිත්වය අසමත් විම නිසා ය.

සුනිලා අක්කා පෙනි සිටි සටන්පාඨ මේ බිමේ පීඩිතයන් ට මිස පිඩක ආණ්ඩුව ට අයත් ඒවා නො විය. එහෙත් අධිරාජ්‍ය ගැති රාජ්‍යය සම වන සම්මුතියකට ඒ පෙනිසිටීමෙන් වූ  බාධාවක් නො විය. රාජපක්ෂ රෙජිමය මෙම කොලනිය පවත්වා ගෙන යාමෙහි සමත්භාවය තහවුරු කිරිම ට අසමත් වන මොහොතක එය කිරිමට සමත් වන ආකාරයේ වෙනත් රෙජීමයක් මාරු කිරිමට අවශ්‍ය ‘සමබිම‘ ව්‍යාපෘතිය පෝෂණය කිරීමට ඇයගේ කැපවීම තේරුම් ගත හැක්කේ ආණ්ඩුව සමඟ ආරෝවට ගිය ද ලිබරල්වාදය හරහා ඇයට ඇති අධිරාජ්‍යගැති ධනේෂ්වර රාජ්‍යය සමඟ ඇති සහජිවනය සමඟින් විය යුතුය. ලාංකික ලිබරල් ව්‍යාපාතිය  කෙතරම් කුහකදැයි හොඳින් ම පෙනි යන්නේ මෙන්න මේ තැන්වලදි ය. සමබිම හරහා ගොඩනගන ‘සමගි බලවේගය‘ ආදී ව්‍යාපෘති සඳහා සුනිලා අක්කා මුදල් අදිද්දී සුදර්ශන එහි ආකර්ශකයා ලෙස ක්‍රියාත්මක වෙයි. ඔහුගේ ප්‍රකාශන සුනිලා ගැන මුඛරි වෙද්දී, ඒ ව්‍යාපෘති පිටුපස නිර්මාපකයා නැතහොත් සම කර්තාවරයකුවත් වන දිප්ති  මිය ගිය අය ගැන නුගුණ කිමට හොඳ නැති නිසා සුනිලා ගැන කිසිවක් කිම ප්‍රතික්ෂේප කරන බව පවසයි.

මට දැනෙන්නේ සුනිලා අක්කා විසින් නියෝජනය කළ ක්‍රියාකාරිත්වයේ තිරිංගයන්, බාධකයන්, බොරුවලවල් ආදිය ගැන කුහක ද්වේෂයේත්, මරණය තුළින් ඇති වු භාවාතිෂමය වු සෞන්දර්යයේත් ගිලීමෙන් තොර ව විග්‍රහයක් කර ගත යුතු බව ය. එහි දි සුනිලා අක්කා එම ක්‍රියාකාරිත්වයේ දිප්තිමත් සංකේතයක් ලෙස සැළකීම අවශ්‍ය වනු ඇත.