Monday, June 23, 2014

සිල්ලර කේස් තොග වටිණාකමට කොන්වර්ට් කිරීමේ කලාව පට්ට දේශප්‍රේමී එකකි....$@%^&*

ඔන්න මම මහපාරේ යමින් ඉන්නවා. නිකමට කියන හැටියට වුණත් අපි ඕනැම කෙනෙකුට මහ පාරේ යන්න තහංචියක් නෑ නොවැ. මගේ වාහනේට ඉස්සරහින් යන වාහනය පට්ට කබල් එකක්. ඒක හිටු කියල ගාටනවා. අයියෝ ! මේවා පාරට දාන්න තාමත් ඉඩ දෙනවනේ ! ලංකාවේ නීතියයි, ඒවා ක්‍රියාත්මක කරවන පොරවලුයි ගැන මට කන්න කේන්තියි. මට හදිසියි. කීප විටක් ම ඉස්සර කරන්න හැදුවත්ඉස්සරහ වාහනයේ  ‍පොරවල් මට පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නෑ.  උන් ඒ මදිවට මායි, මගේ වාහනයේ ඉන්න අනිත් අයවයි පෙන්වමින් මොනවද කියනවා. නක්කලේ දානවා වගේ. දැන්නම් කේස් එක ට්‍රැෆික් සිමාව පැන ගෙන ගිහින් පර්සනල් කේස් එකක් වේගෙන එනවා. හුහ් ! මෙන් ඊළඟට අර වාහනයේ පොරවල් බෙල්ල එලියට දාගෙන අපිට මොනවද කියනවා. "ඕයි, හදිසිද ? හදා ගන්නවා තමුසෙලටම කියලා පාරවල්"  මේ විදියට කියද්දී අපේ වාහනයේ ඉන්න පොරවලටත් යකා නැඟගෙන-නැඟගෙන ගිහිල්ල දොට්ට පැනපි. "ඇයි තොපි හිතුවද පාර තොපේ කියලා!" දැන් වාහන දෙකේ ම පොරවල් මෙහෙයවන්නේ යක්කු විසින් ! ඊළඟ විනාඩි කීපයේ දි යක්කු එළියට පැනගෙන අතින් පයින් ප්‍රශ්නේ බේරගන්න මට්ටමට සංවර්ධනය වුණා !

දැන් ඔන්න මේක පොලිස් කේස් එකක් වෙච්චි ! මේ අ-වෙලාවේ ඉතාම වැදගත් වුණා අපේ වාහනයේ බෞද්ධ චිවරධාරී-කෙළින් ම කියතෙ‍ාත් භික්ෂූන් වහන්සේ නමක් හිටපු එක. අපි හොයා ගත්තා, අනිත් වහනය මුස්ලිම් කියලා. වාහනයේ ගිය පොරවල් ඇඳ-පැලඳ යිටි හැටි, ඒරියා එකේ හැටි, කතා කරපු හැටි වගේ සියළුම ලක්ෂණ ගැන ඉතා ම වැදගත් විද්‍යාත්මක නිරික්ෂණ අනුවයි මේ හඳුනාගැනිම කළේ. දැන් ඉතින් වැඩේ ප්‍රත්‍යක්ෂයි නේ. 'හම්බයෝ(පිටසක්වල වාසින් පිරිසකි) අපේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පිරිසකට පහර දෙති' පට්ට ස්ලොගන් එක ! මේ වගේ එකක් වෙන ඕන ඕනැම ගන් එකකට වඩා පවර්ෆුල් ! අනිත් ගන් නිකම්ම පත්තු කරවතෑකි මේ ස්ලෝ-ගන් එකෙන්. හුහ් ! පොලීසිය ගිහින් අනිත් වාහනයේ එකෙක් කුදලගෙන ආවා. "කො අනිත් උන් ? එතැන හිටපු ඔක්කොම අත්අඩංගුවට ගන්න තොපිට බැරි වුණාද ?" මෙන්න වැඩේ නැගලා යනවා.
දැන් ස්ලෝගන් එක මෙහෙමයි. "පිටසක්වල ජිවින් පිරිසක් වන හම්බයන් විසින් අති උත්තරීතර අපගේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට හා ඒ සමඟ ගමන් කළ සැදැහැවතුන් පිරිසකට  අපහාස කොට, පහර දි ලේ සොළවා ඇත. ‍පොලීසිය ද මේ හමුවේ නිද්‍රාශිලී වෙමින් පිටසක්වල වාසී හම්බයන්ට සහාය දෙයි. මහපොළොවේ උරුමක්කාරයන් වන අප, අපගේ මහපොළොව මත ම අනාථ- අසරණ වී ඇත."
මුළු ලෝකයමත්, පිටසක්වල වාසින් සමඟ එක් වි මේ වැනි මොහොතවල අප ව ගිල ගැනීමට බලා සිටින බව, (හරියට ම බෞද්ධ නොවුණත්) විෂ්ණු දෙවියන් විසින්ද අපට පැහැදිලි කර දී ඇති නිසා ගැලවිමක් ඇත්තේ 'අපේ-අපේම' වරිගයේ ගැලවුම්කාරයන්ගෙන් පමණකි. ඒ නිසා තියෙන පොලිසිය-මිලිටරියටත් වඩා ෂෝක් එකට වැඩ කළ හැකි 'බොදු බලු සේනා' ප්‍රමුඛ නා නා වරිග සේනා දැන් සීන් එකට එන්ටර් වෙති. මේ ඇවිත් හුදු 'ට්‍රැෆික්' ප්‍රශ්නයක්, 'නීතිය හා සාමය බිඳවැටීමේ පොදු තත්වයක ප්‍රතිපලයක්' කියලා විග්‍රහ කරන්න යන ජාතිද්‍රෝහීන්-දේශද්‍රෝහින් මේ සීන් එකෙන් එලියේ ති‍යන එක අනිවා කරන්න ඕන; මොකද උන් ඇවිල්ල මේ පැහැදිලි කිරිම් කළාට පස්සේ, අමාරුවෙන් ගෑස් ගහල වගේ පුම්බගත්තු 'ජාති වාත්සල්ලේ' ඕජස එළියට පැනලා, සැර වාෂ්ප වෙලා යතෑකි ලේසියෙන් ම !
පොල්ලෙන් ගහල, ලේ වගුරලා, යකඩින්කොටු කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන් බවත්, ගෞතම බුදුන්ගේ හේතු-ඵල ධර්මය පවා ඒ අනුව වැරදි බවත්, බුදුදහමටත් වඩා විද්‍යාත්මක සත්‍යයන් හෙළිදරව් කරල, (ඒ නිසා ම බුදු දහමටත් රැක‍ෙන්න වෙන්නෙත් මේ සක්වලේ තමන් යටතේ  විතරක් බව නිසැකව ම ඔප්පු කරල) අපේ මහ රජු ඇතුළු එක්සේසත් පාලක පවුල්-අනු පවුල්-අනු අනු පවුල් හත්පොළේ ගා ගෙන ඉන්න මේ වගේ වේලාවක, වැඩි වැඩියෙන් මේ වගේ ට්‍රැෆික්, වැට-කොටු, පික්-පොකට්, අසභ්‍ය වචනෙන් පිටසක්වල බසින් බැන වැදිම්, ගස් ගෙඩි කැඩිම්, විරිත්තිම්, ඇස් කොනින් බැලිම්,.......වගේ නහුතයකුත් තව ටිකක් කේස් එනවානම්......අර සේනාවේ හා අනිකුත් සේනාවල පිහිටෙන් තව ටික කාලයක් හරි උන්නාන්සේලාට වැජඹෙන්නට ඉඩ හදා දීමේ පින් මහිමයම.............................හපොයි ඇති නේ......!!!
   
 


Tuesday, June 10, 2014

ලට්ට-ලොට්ට සංධානේ කල -දවස..........

විමල් වීරවංශ මහත්තයගේ 'පක්ෂය' , "ආණ්ඩුවෙන් එළියට බහිනවා" කියලා ආයෙමත් 'තර්ජනයක්' කරලා ! එළියට බැසීම සඳහා කොන්දේසිය තමයි, එම 'පක්ෂය' විසින් ඉදිරිපත් කරන ලද යෝජනා-නිර්දේශ හෝ සමාන අර්ථයකින් හඳන්වනු ලබන කතන්දර ඉටු නොකිරීම ! http://lankacnews.com/sinhala/main-news/115085/ලිංකුවෙන් මේ කියන කතන්දර දුසිම කැමති කෙනෙකුට ඒ හඬින් ම කියව ගන්න පුළුවන්.

ගොඩ දෙනෙක් මේ ගැන කිව්වේ "මේ තවත් රඟපෑමක්" විතරයි කියලා. එහෙම කියපු අය අදහස් කළේ, ඇත්තට ම කෙරෙනවානම් මේ දුසිම හරි ෂෝක් කියලද මන්දා....මටත් දැනෙන විදියටනම් මේ තවත් පට්ට රඟපෑමක් ම තමයි. ඒත්, ආණ්ඩුවෙන් පරිබාහිර එකක් නොවෙයි; මහා ආණ්ඩු යන්ත්‍රය ඇතුළේ කෙරෙන තවත් එකක්. කොටින් ම මේ ආණ්ඩුවේ නාටකයේ ම තවත් එපිසෝඩ් එකක් විතරයි.

වීරවංශ මහත්තයාගේ මේ වර්ගයේ මීට කළින් හැසිරීම් ටික අරන් බැලුවාමත් ඒ බව පේනවනේ. සාමාන්‍යයෙන් වෙන්නේ මෙන්න මෙහෙමයි; මේ ආණ්ඩුව හරියට 'කතරගම දෙයියන්ගේ පිංතූරයක්' වගේ. 'වගේ' කීවට, වගේමත් නෑ. එකම සමානකම තමයි, මූණු දුසිම් භාගයයි, අත්-කකුල්(?) දුසිම ගානේ පිහිටලා තියන එක.  දැන් ආණ්ඩුවට ජාත්‍යන්තර හොඳ-හිත වගේ දෙයක් ඕන කියමු, සල්ලි ටිකක් හොයාගන්න වගේ වැඩකට. එතකොට ඔය කියන ජාත්‍යන්තර ප්‍රජාව කියනව නොවැ වීරවංශ මහත්තයා මේ දැනුත් දානව වගේ 'කොන්දේසි' කතන්දර. දැන් ඒවා නෑහුනා වගේ ඉන්නත් බෑ. ඉතින් මොකද කරන්නේ? ඕන්න, වීරවංශ, රණවක වගේ අපේ දේශප්‍රේමී මහත්තුරු කල-එලි බහිනවා ඒ වේලාවට('බස්සනවා' කිවත් අවුලක් නෑ) ඉතින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තහනම් කරනු;  පළාත් සභා අහෝසි කරනු වගේ තොවිල් ටිකක් නටනවා. ඉතින් ආණ්ඩුව කියනවා, "අපේ ආණ්ඩුව ලොකු විවිධත්වයකින් යුතු ආණ්ඩුවක්. ඉතින් අපි නම් මේකට කිසි ප්‍රශ්නයක් නෑ. ඒත්, ප්‍රජාතන්ත්‍රවාදීව අපි අනිත් අය ගැනත් හිතන්න එපා ය" කියලා. අර තොවිල්-පවිල් කරන කට්ටිය පෙන්නන එකයි තියෙන්නේ. එතකොට 'ප්‍රායෝගික සමතුලිත' තැනක් තෝරා ගන්න පුළුවන් නොවැ ඒ කට්ටියටම අපහසුවක් නොවෙන විදියේ.

දැන් මේකේ නාට්‍යමය ගුණ ගැන මට දැනෙන්න තවත් පට්ට හේතුවක් තියෙනවා. ඒ තමයි වීරවංශ වගේ මහත්තුරුන්ගේ 'පක්ෂ' කියන්නේ, මොන වගේ සංවිධාන ජාතියක්ද කියල. මේ කතන්දර දුසිම අනුමත කර ගන්න, කොළඹ සුගතදාස ස්ටේඩියම් එක පුරවලා, රොද බැඳ ගත්ත 'පක්ෂ සමුළුවක්' තිබුණා නොවැ. මේකට සම්බන්ධ වුණ චරිත දෙකක් එක්ක මට කතා කරන්න ලැබුණා.
"ඔයාල ඒකමතිකව යෝජනාවලියක් සම්මත කළා ලු නේද?" මම ඇහුවා නිකමට වගේ. අන් ඇවිත් මගේ පට්ට හිතවත්තු.
"මොන යෝජනාවලියක්ද !" තැන් දෙකකදි හමු වුණත් මේ දෙන්නම එක පාරටම මගෙන් ඇහුවේ එකම ප්‍රශ්නේ.
" ඇයි; අර ඕගොල්ලන්ගේ වීරවංශ ඇමති තුමාගේ පක්ෂ සම්මේලනයේ........"
"මොන සම්මේලනයක්ද ?"
දෙයියනේ! මුං දෙන්නම ඒකටත් එකම උත්තරේ. ඒත් මම දන්නවා මෙයාල එහෙම එකකට ගියා කියලා. බොරු කියන්න ඕනකමකුත් නෑ. එහෙනම් මේ මොකක්ද කියන්නේ ? පස්සේ බැලින්නම්; ඇත්තටම ඒකට ආපු ගොඩාක් අය වගේ ම එයාලත් දන්නේ නෑ ඒ ගොල්ල ගිය වැඩේ මොකක්ද කියලා. ඇත්ත වශයෙන් ම එතනින් කෙනෙක් වීරවංශ මහත්තයා ඇමති හැටියට වලංගු ආයතනයක රස්සාව කරන්න සිදු වුණ කෙනෙක්; අනිත් කෙනාගේ ගර්භනී බිරින්දෑ එහෙම තැනක රස්සාව කරනවා. ඉතින් මේ රස්සාවල් ආරස්සා කරගැනීම මිස වෙන කිසිම ...................ක් මෙයාල කාටවත් නෑ ! දැන් විහිලුවංශ මහත්තයගේ ම උදාහරණය පෙරට ගෙනිච්චොත්, ඒ ආයතනවල රස්සා කරන අයට අතිරේක ව ඒ අමාත්‍යාංශයේ ‍සේවාවන්ට හිමිකම් කියන, ඒත් වන්දිභට්ටකම් කිරීමෙන් තොරව ඒවා නොලැබෙන බව තේරුම් අරන් ඉන්න කට්ටියත් මේ වගේ තැන්වල හිස් ඉඩ පුරවන්න දක්කගෙන එනවා.
"බස් එකක් එනවා.අහවල් අය ඔක්කොම නගින්න කියනවා. සමහර විට යනකම් දන්නේ නෑ මොකටද-කොහාටද-මොනව කරන්නද වගේ දේවල්. තවත් සමහරක් විට ගිහිල්ල ඇවිල්ලත් දන්නේනෑ !"
මේ කියන 'සම්මේලනය' දවසේ වැඩ කරන අයට කීවලු "හාෆ් ඩේ එකක් දාල එන්න" කියලා. ඒත් මැතිවරණ කාලේ පවා ගොඩක් වෙලාවට මේවාට ලොක්කන්ගෙන් 'ඩියුටි ලිව්' ලැබෙනවා.සමහර දාට මොන ම ලිව් එකක්වත් නැතිව ගිහින් එන්නත් පුළුවන්. ලීව්ද-නැද්ද-ලීව්නම් මොන වර්ගයෙද වගේ හැම දෙයක්ම ලොක්කෝ හරහා තමයි තින්දු වෙන්නේ. ආයතන ලොක්කෝ ඒවා තින්දු කරන්නේ අමාත්‍යාංශ ලොක්කන්ගේ හිත් සන්තෝස වෙන විදියට. අමාත්‍යාංස ලොක්කෝ බලන්නේ ආණ්ඩුවේ ඇත්තන්ගේ හිත් සන්තෝස වෙන විදියට ඒව කරන්න. ඒ ඇත්තෝ බලන්නේ මහරජතුමාගේ.......! කෙළවරක් මට හිතා ගන්න බෑ. ඔන්න මේක බ්ලොග් එකට දාන්න ඔන්න-මෙන්න තියලා ආරංචි වුණා මේ තාලෙටම අද කට්ටිය ගෝල්ෆේස් එක්ක ගියා කියලා ! (ඒ තමිල්නාඩු මහඇමතිනි-ජයලලිතා‍ ගේ ප්‍රකාශයකට විරෝධය පළ කරන්නලු;ඒත් 'ප්‍රකාශය' මොකක්ද කියලා දන්න විරෝධතාකරුවෝ හොයාගන්න පට්ට අමාරු වුණා ලු ! (හපොයි 'ජන-මතය' ! )
දැන් ඉතින් මේ විදියේ 'ජනපදනමක්' නම් මේ උන්නැහේ්ලට තියෙන්නේ, ආණ්ඩුවෙන් එළියට ආපු දවසක ඒ උදවියට යන කලදවසක් ගැන හිතාගතෑකි නේ ! ඉතින් එයාල ආන්ඩුවෙන් එළියට ගියොත්, ඒ යන්නේ මේ ආණ්ඩුව වැටෙන්න ඔන්න මෙන්න කියල ෆුල් ෂුවර් පිට ඊළඟ එකකට සෙට් වෙන්නයි ඒ. මොකද, මේවර්ගයේ කට්ටිය ආණ්ඩු බලයෙන් එළියට විසි වුණ ගමන් වැටෙන්න කුණු කූඩවත් නැති වෙනවා කියන එක අනිත් හැමෝටම වඩා දන්නේ එයාලමයි !