Tuesday, April 15, 2014

වඳින්නම්; "සුබ අළුත් අවුරුද්දක්"නම් එපෝ !!!

හාර මාසයක් අහවර වෙන්න කළියෙන්, ඕන් තවත් පාරක් තවත් 'අළුත් අවුරුද්දක්' ආපි ! "සල්ලි තියේනම් හැමදාම අවුරුදු තමයි" කියන සමාජයක මේ ලක්ෂණය මොන තරම් සුබ ලකුණක්ද අප්පා......එක ම අවුරුද්ද ඇතුළේ අළුත් අවුරුදු ම දෙකයි ! (තෛපොන්ගල් කියල දමිල ජනතාවගේ වෙන ම එකකුත් තියෙන නිසා හරියට ම බැලුවොත් ඊටත් වැඩියි) බිල් ගෙවාගන්න බැරි ව අවුට් ගොයින් කපල මාස භාගයක් ම දුවන අපේ ජංගම දුරකථනවලටත්, අපේ ම වියදමින් හරි, මේවා අදාල ද-නැද්ද වගේ කිසි ම වාද-භේදයක් නැතිව, මහ රජතුමාත්,  සුබපැතුම් පණිවුඩ එවල තිබුණා. කාටද ආඩම්බර අප්පා ! මිලියන ගාණක් එහෙම එස්.එම්.එස්. ගගහ ඉන්න තරම් කාලයක්-ධනයක්-ඕනකමක්-ආසාවක් තියෙන රජතුමෙකුගේ යටත් වැසියන් වෙන එක.....හැබැයි, උන්නාන්සේ ට හා මගේ සහෝදර රටවැසියා ට බොහෝම ගෞරවයෙන් යුතු ව දන්වා හිටින්න ඕන වෙන කාරණාවකුත් තියෙනවා. මේ අදාල කාල පරිච්ඡේදවල දී මට පොඩි අසනිප ගතියක් දැනෙනවා, ඔක්කාරයක් එක්ක, මෙන්න මේ එක ම එක වචන සෙට් එකක් දිගින් දිගට ම අහල;දැකල; මතුරලා; "සුබ අළුත් අවුරුද්දක් වේවා" ; " එසේ ම වේවා"; ඕන් ඔය වචන සෙට් එක ! මගේ මනස්ගාත ඔළුව ට එන්නේ 'සුබපැතුම් මෙෂින්' වගේ එකක්. එහෙම එකකට තියෙන්නේ බොහෝම සිමිත භාෂාවක් ! හරියට මෙන්න මේ වගේ. පැය 24ම, දවස් 365ම මගේ සල්ලි ගන්න මට පුළුවන් කියල කිව්ව නිසා, මම යනව අදාල බැංකුවේ ටෙලර් මෙෂින් එක ළඟ ට. එතැන දි මට වෙන්න පුළුවන් දේවල් ගණනාවක් තියෙන්න පුළුවන්. සරල විදිය ට සල්ලි අර ගෙන එන්නත් පුළුවන්. බැරි වෙන්න පුළුවන් හේතු ගොඩකුත් තියෙන්න පුළුවන්. රහස් අංකය අමතක වුණා; කාඩ් එකේ මොනව හරි ඇද-පළුද්දක් තිබුණා;බැංකුවේ සල්ලි ඉවර වෙලා....හපොයි, කොයි තරම් දේවල් වෙන්න පුළුවන් ද ?
ඉතින් මම මෙෂින් එකට මගේ ප්‍රශ්නය කොයි තරම් බරපතල ද කියල කියල දන්න හැම විදියෙන් ම පැහැදිලි කරන්න ට්‍රයි කරනවා. ම්හු.... කොහොම කිවත් මූට ඒක තේරෙන්නෙ ම නෑ !  (මොකද ඒකට අදාල බොත්තම් මේ මෙෂින් එ‍කේ නෑ) මිනිස්සු කියන්නේ 'මෙෂින්' නොවෙයි කීව ට, ගොඩක් වෙලාවට, ගොඩක් මිනිස්සුන්ටත් තියෙන්නේ මේ වගේ බොත්තම් කීපයක, සීමාසහිත භාෂාවක් විතරයි කියල මට දැනිල තියෙනවා. චාලි චැප්ලින් 'The factory' චිත්‍රපටයෙන් මතු කළා වගේ; මේක වෙන විදියකට මිනිස්සුන් ට තමන් ගේ භාෂාව අහිමි කිරිම පිළිබඳ ප්‍රශ්නයක්. කොහොම වුණත් දැන් 'සාමාන්‍ය ජනයා' වෙන්නේ අන්න එහෙම උන්.
ඉතින් අපි උදේ - හවා කරන ගොඩාක් මැතිරිම් මෙන්න මේ වගේ තමයි. මේ අවුරුද්වල තියෙන විශේෂත්වය මේ මැෂින් කථා විසි-තිස් ගුණයකින් ගුණ වෙලා ඇග ට කඩා පනින එක ! ඒ නිසා මේකනම් මට හරි ම අප්පිරියාජනක විදියට සාමාන්‍යයෙන් ම සාමාන්‍ය වෙලා !  ඔයාල ට කොහොමද මේක දැනෙන්නේ ? මම ඔයාල ගේ සනීපෙට බාධාවක් කාරිය කළානම්, ඒත් සමාව ඉල්ලන්න වගේ අදහසක් මට නැහැ. තරහක්-වෛරයක් වගේ දෙයක් නිසා‍ නො වෙයි; 'මැෂිමක්' නො වීමේ සනීපය, හොයාගන්න පුළුවන්නම්, අපි කොයි කාටත්......

Thursday, April 3, 2014

ජනතාවට එරෙහි ව ජනතාව ! (රෝහලින් එහා ගිය අලි ලෙඩක්)

රෝහල් කාර්ය මණ්ඩල එකිනෙකාට එරෙහිව අවි අමෝරා ගනිමින් සිටිති. කාගෙනුත් අපට අසන්න ට ඇත්තේ 'තොප ට ලැජ්ජාවක් නැද්ද' යන්න පමණි. එහෙත් ලැජ්ජාවක් නැතිකම ම අභිමානයක් වූ රටක ඒ ප්‍රශ්නය අසා තේරුමක් නැති බැවින් කළ යුත්තේ කුමක්දැයි සිතාගැනීමේ නොහැකියාවකින් පෙළීමේ ඉරණම ට ගොදුරු වී සිටිමි.

ඊයේ සිට පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැඩවර්ජනයේ ය; ඒ හෙදියන් ට සූතිකාගාර පුහුණුව ලබා දිමට එරෙහිව ය. අද සිට හෙද-හෙදියන් වැඩවර්ජනයේ ය. ඒ ඔවුන් ට සූතිකාගාර පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලමිනි. හෙද- හෙදියන් ට එම පුහුණුව දිම ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ බව පැවසෙතත්, ඊට හේතුවක් පැහැදිලි නැත.  පැහැදිලි හේතුවක් තිබුණත්-නැතත් ඔවුනුත් විරුද්ධ බවනම් පැහැදිලි ය. දැන් මේ සමහන් කළ නොහැකි පටලැවිල්ල මතු වී, පැතිරෙමින් ඇත්තේ එක ම සේවාස්ථානයක, එකට වැඩ කරමින් සිටින කණ්ඩායම් අතර ය.  ඉලක්කය කොහොමටවත් සේවාලාභින් වන රෝගින් නො වේ; අඩු ම ගණනේ සහෝදර සේවක-සේවිකාවන් ද නොවේ. (සමාවන්න; ඔවුනගේ සහෝදරත්වය වාත්තීය පටියකට සීසා වූවක්දැයි නොදනිමි. එහෙත් දිගු-දුර විමසතොත් එහෙව් එකක්වත් එතැන නොමැති බැව් හොදට ම පැහැදිලි වනු ඇත)

මේ පට්ට කුහකකමක් ලෙස හදුන්වන බ්ලොග් සටහන් දුටුවෙමි.  මම ද ඒවා සමඟ සම්පූඍණයෙන් ම- හැකිනම් ඊටත් එහා එකඟ වෙමි.

එහෙත් ප්‍රශ්නය ඒවායේ දක්වා ඇති පමණටත් වඩා පැතිරුණ එකකි.  සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වෘත්තීය පට්ටම් කුහකත්වය සඳහා නම් දැරූ තැනකි. එහෙත්, එසේ ඇත්තේ ඒ තැන පමණක් ද? බියජනක හා අප්‍රසන්න කරුණනම් මෙය කොහෙත් ම එතැනට සීමා වූවක් නො වීම ය.   සටන් හැටියට එළියට නොආවත්, අභ්‍යන්තරික යටිකූට්ටු මෙන් ම අප්පිරියාජනක නිල තීන්දු මගින් ද විසඳා ගෙන ඇති පරිදි බොහෝ රජයේ කාර්යාලවල කෑම කාමරය, විවෙික ස්ථානය, වැසිකිලිය පවා මෙසේ වෘත්තිය ධූරාවලීන් අනූව බෙදා වෙන් කොට ඇත. ධූරාවලිය ට අනුව පහසුකම් ද ධූරාවලිගත කර ඇත. පාසල වූ කලි මෙම අසමානාත්මතාවය මුළින් ම පුරුදු-පුහුණු කරන තැන ලෙස හඳුනා ගත හැක්කේ සිසු-ගුරු-විදුහල්පති ලෙස පොදු පහසුකම් ධූරාවලීගත කිරීමෙනි. සරසවියේ දී 'ජේස්ට උත්තමයන්' බව ට තමන් විසින් ම තනතුරුලාභී වන ශිෂ්‍ය පරපුර මගින් ම මේ අසමානත්වයේ සම්ප්‍රදාය සජීවිකරණය කෙරේ.  ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ ඇති සමානාත්මතා නීතිවලින්වත් හවුහරණක් නැතිව අනාථ වන මෙවැනි අවස්ථා රජයේ ආයතනවල උඩපිනුම් ගසද්දි අනෙක් ආයතන ගැන කවර කථා ද !

ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කතාවට ආවත් අපි මේ තුච්ඡ අසමානතා සම්ප්‍රදායයන් හැම තැන ම ක්‍රියාත්මක කරමින් නොසිටිමු ද? අපේ පිළිකුල මේ මුළු මහත් සම්ප්‍රදාය කෙරේ ම එල්ල විය යුතු නො වේද?  

ප්‍රශ්නය -නැත්නම් අර්බුදයට යටින් ඇති මූලික හේතුව ලෙස මා දකින්නේ, ලංකාව අඩු දියුණු රටක් වීම තුළ ය. අඩු පහසුකම් සොච්චම තුළ තමන් ගේ පට්ටම හා මඬිය පමණක් නැති උත්තරිතරත්වයකට පත් කර ගන්නට අවශ්‍ය හීනමානි මානසිකත්වය ට මෙය සරු පොළොවකි.  මුළින් කී කුහකත්වය ට හේතුව මෙය යයි සිතමි. මෙය පරාජය කළ හැක්කේ දියුණු වෘත්තිය සමිති විඥානයක් තුළිනි. එවැන්නක් අනිවාර්යෙන් ම වැඩ කරන සාමාන්‍ය ජනයා ට වඩා ඉදිරියෙන් දකින්නත් විය යුතු ය. එවැන්නක් කළ හැක්කේ දියුණු දේශපාලන ව්‍යාපාරයක මඟපෙන්විමක් ඇත්නම් පමණි. එහෙත් අප ට එවැන්නක් ද අැති බවක් නොපෙනෙයි.  පක්ෂ සම්බන්ධ වුව ද-නැතද, (ඒවා සැබෑ 'පක්ෂ' නො වන බැවින්) ඒවා යේ වෙනසක් නැත. බොහෝ විට වෘත්තිය සමිති ඇත්තේ සේවකයන්ටත් වඩා පසු පසිනි.  ඒ නිසා ප්‍රතිඵලය වි ඇත්තේ අතිශයින් ම ‍'පෞද්ගලීකරණය'ට ලක් වි ඇති සේවකයා ගේ-සේවිකාව ගේ පිළිබිමුව ම පෙන්වමින්, ඒවා ද මේ පටු කුහකත්වයේ ප්‍රකාශකයන් බව ට පත් විම ය. මෙය අභියෝග කළ හැකි ගැඹුරු සමාජ ව්‍යාපාරයන් ද අප සතු නො වේ.

අඩු ම ගණනේ එවැන්නක් සඳහා මේ වැනි ලිවීම්වලින් වත් කිසිවක් වේ දැයි සිතා ගත නො හැක. එහෙත් ඒ වෙනුවෙන් දකිනා සිහින මෙසේ හෝ සටහන් කර තැබිම වැදගත් වනු ඇතැයි නො සිතමු ද?

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතු ව ඇති මේ මොහොතේ අර්බුදය ට වහා ම ගෙන ආ යුතු ප්‍රගතිශිලි විසඳුම ලෙස මා දකිනුයේ හෙද නිපධාරිනින් ට පමණක් නො ව හෙද නිලධාරින්ට ද සූතිකා පුහුණුව ලබා දෙමින් සියළුම පවුල් සෞඛ්‍ය සේවිකාවන් හෙද සේවය ට අනුයුක්ත කරගැනිමයි. අදාල පුහුණුවේ දි ඔවුන් ගේ සේවය උපදේශක පදනමකින් ද ලබා ගත හැකි වනු ඇත.  ඔවුන්ගේ ක්ෂේත්‍ර රාජකාරි ආදි සුවිශේෂතා සළකා වැටුප් විෂමතාවන් ට හේතු නො වන පරිද්දෙන් ශ්‍රේණි ගත කිරීමේ හැකියාව විමසිය හැකි වනු ඇත.

කෙසේ වුව ද, වැඩපොළ මට්ටමේ ඇති මේ කුහක අසමානාත්මතා සම්ප්‍රදාය අතු ගා දැමිම අත්‍යවශ්‍ය කරුණක් වනු ඇත. ඒ වන තුරු ජනතාවගේ අයිතිවාසිකම් මැඩ පැවැත්වීම-උදුරා ගැනිම ගැන ආණ්ඩුවලට-සියළු ආකාරයේ මර්දකයන් ට වෙහෙසක් නො දී, ඒ කාර්යයනුත් අදාල ජනතාව විසින් ම ඉටු කර ගනු ඇත.