Monday, March 31, 2014

මේ ඡන්ද ප්‍රතිඵලය ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් !

ලුණු රහ මහා සාගරයක් මැද කඳුළු කැටයක් වේච්ච මේ පුංචි දූපතේ මහා රජ්ජුරුවොයි, පිටසක්වල වාසියෙක් තරමට ම හොඳට ම හුදෙකලා පුරවැස්සෙක් වන මමයි දෙන්න ම හිතුවා හරියට ම හරි !

ඇත්ත වශයෙන් ම, ආන්ඩුව කරන ඇත්තන්ගේ මේ ලැබුවා කියන 'ජයග්‍රහනය', දැනුවත් ව හෝ නොදැනුවත් ව මුළු මහත් ලංකාවාසීන්ගේ විතරක් නොවේ, පෘථිවි වාසින්ගේත් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් !! සෙල්ලං ද - කාටද ආඩම්බර ඇහුවා ලු !!!

මොකක්ද මේ මංඤං කතන්දරේ කියලා අන්ද-මන්ද වුණ කඳුළු කැට වාසියෙක් ඉන්නවානම් හින් ටීකාවක් දෙන්නම්. වැඩිය බෑ; දන්නවනේ අපි ජිවත් වෙන්නේ අහවල් ප්‍රජාවගේ ප්‍රජාතන්තුවාදි රටක බව ! (ඕන් හීන් සැරේ අහගන්නකෝ; මේ කඳුළු කැටේ දිවයිනට මුදල්-හදල් වලින් ආධාර-උපකාර කරපු විදේශ උදවිය ගේ ඒ සබ්බ සන්තකෙත්, මේ රටේ වැස්සෝ මේ රටේදි මත්, පිටරටවලදීත් කඹුරලා, ආණ්ඩුවට ආදායම් උපදවල දිපු සබ්බ සන්තකේත් ඔක්කොම හැබෑම දේශප්‍රෙමයකින් යුතුව මේ කටයුත්තට අපේ ආණ්ඩුව මගින් ආයෝජනය වෙච්ච විදිය හිතල බලන්නකෝ. මීට වඩා නොකිවාට කමක් නෑනේ) ඉතින් මේ 'ජයග්‍රහනය'ට ජාත්‍යන්තර මට්ටමින් ම අපි හැමෝ ම වගේ දායක වෙලා තියෙනවා. (මේක අපි හැමෝගෙම ජයග්‍රහනයක් ද - නැද්ද; අපි ට ඕන කරන එක ද - නැද්ද  වගේ ප්‍රශ්න ඉතින් වෙන ම ඒව නේ)

තව දෙයක් ! ඉර බහින පළාතෙයි , පහළ මුල්ලේ පළාතෙයි පවත්වපු මේ මැතිවරණ දෙකේ දී, ඒව‍ායේ ජනතාව නියෝජනය කරපු 'ඡන්දදායකයෝ' ඔප්පු කළා, තමන් ගේ බය-පක්සපාති බව, පාලකතුමන්ලා ගැන.  උතුරු පළාතේ ජිවත් වෙන ජීවින් ට වඩා තමන්ට තියෙන්නේ ඇගඟන් එළියට එනකම් ම වැඩුනු වෙනස් ම කශේරුක‍ා පද්ධති වර්ගයක් කියන එකත් , ඒ එක්කම.

අ-වේලාවේ මට මෙහෙම දැනෙන්නේ මේ පේන ඉලක්කම් ඇත්ත ම- ඇත්ත කියලා භාර අරගෙන නොවෙයි.  ඒත්, ඒ විදියට භාර ගන්න- ඉවසන්න තියෙන සුවිශේෂ හැකියාව ගැන මේ වෙද්දී හොඳ තේරුම් ගැනීමක් තියෙන නිසා.





Thursday, March 27, 2014

අන්ද-මන්ද-ඡන්ද- මන්ද !

මේ සති ගණනක ඉඳලා ලංකාවේ බස්නාහිර හා දකුණ පළාත් දෙකේ 'ඡන්දකාර‍යෝ' අතර ලොකු උණුසුමක් ! කවුරුත් දන්නවා, හේතුව 'පළාත් සභා මැතිවරණ' කියලා.  මෑතක ඉඳන් හැම මැතිවරණයක් ගැන ම මගේ පෞද්ගලික ව නිරීක්ෂණයක් අනුව පාර්ශ්ව අතර 'අසමානුපාතික උද්යෝගයක්' තියෙන්නේ. මැතිවරණය මොකක් වුණත් ඒකේ වෙනසක් නෑ. අසමානුපාතික උද්යෝගය කියල මම අදහස් කළ එක තවදුරටත් පැහැදිලි කරනවානම්, කෙටියෙන් මෙහෙමයි. මැතිවරණයේ ඡන්ද අපේක්ෂකයන් හා ඡන්දදායකයන්  කියන ප්‍රධාන පාර්ශ්ව දෙක අතරේ මැතිවරණ උද්යෝගය සමාන අනුපාතයකින් නෙවෙයි වැඩකරන්නේ. තවත් පොඩ්ඩක් පැහැදිලි කළොත් ඡන්ද අපේක්ෂකයන්ගේ උද්යෝගය අහස තරම් වෙද්දී, ඡන්ද දායකයන්ගේ උද්යෝගය තියෙන්නේ අමාවකට පායපු හඳ වගේ. (මේක තාමනම් අනිත් පැත්තට වැඩ කළේ නෑ) කවුරු හරි ඡන්ද අපේක්ෂක-දායක තුමන්ලා-තුමින්ලා මේක කියවනවානම්, මගේ නිරීක්ෂණය ට  අදාල තත්වය ගැන අදහසක් කියලා මේක සංවර්ධනය කරන්න කියල ඉලලනවා.
දැන් පවත්වන්න යන පළාත් සභා මැතිවරණයන්ටත් මේක අදාලයි. 

ඡන්ද දායකයෝ කියන්නේ 'ප්‍රජාව' නම්, මේ විදියේ නිශ්ක්‍රීය ප්‍රජාවක් එක්ක කොහොමද ‍දෙයියනේ 'ප්‍රජාතන්ත්‍රවාදය' ආරක්ෂා කරන්නේ ! මේ ගැන තියෙන 'අවංක කැක්කුමේ බරපලකම' හන්දමද කොහේද ආණ්ඩුව කරවන ඇත්තොත්, කරවන්නට කල් බලමින් ඉන්න ඇත්තොත්  ‍ලෝකයේ තියෙන හා අළුත් ම උපක්‍රමත් පාව්ච්චි කරමින් 'ඡන්දදායකයිනි නැගිටිව්-ලංකාද්වීපය බේරාගනිව්' වගේ උනන්දුකාරක ගැන තමන්ගේ උනන්දුව පට්ට ඉහළින් පෙන්නුම් කරනවා.

ඒක කොයි තරම් 'ඉහළයි' ද කියතොත්, අඩු ම ගාණේ ඡන්ද නීති-රිති රැකගන්න එක ගැනවත් ඒ ගොල්ල හිතා බලන්නේ නෑ.  කියල දිල තියෙන සූත්‍රයේ හැටියට ඒකේ ඇති වරදක් නෑ; මොකද නිති-රිති රැකෙන්න ඡන්ද-ප්‍රජාතන්ත්‍රවාදේ තියෙන්න එපා යැ  ! ඒ වගේ ම ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නනම් රටක් තියෙන්න එපා යැ ! ඉතින් කොහොම කෙ‍ාහොම හරි මේ දේශපාලකතුමන්ලා මේ විදියට තෝරා පත් කර නොගත්තොත් රට රැකෙන්නේ කොහොමෙයි !!!

ඉතින් සුපුරුදු විදියට තාප්පයක්-ගහක්-ගලක්-‍බෝක්කුවක්-පාලමක් ගානේ හැම අස්ස-මුල්ලකම විතරක් නොවෙයි, එකා මත එකාත් මේ දවස්වල විරිත්ත ගෙන- අත් වනා ගෙන- නැති නෑකම් කියා ගෙන හැම තැනින් ම කඩා පනිනවා. පත්තරේ-රේඩියෝ-ටීවී-ෆෝන් අස්සෙන් පවා මතු වෙනවා.  ඒ විදිවලින් ග්‍රාහකයාගේ ප්‍රතිචාරය ඇස් පනා පිට බලා ගන්න අමාරු නිසා දෝ කොහේද, පොඩි පහේ පොකට් මීටින්,පිළිගැනීම් ඉඳලා පට්ට-පතාක ජන රැළි දක්වා 'ලයිව් ප්‍රොගෑම්ස්' සංවිධානය කෙරෙනවා. බටහිර ඉඳන් දකුණ ට-දකුණේ ඉඳන් බටහිර ට- ඒ එක-එකක් ඇතුළෙත් මේවා ට සහභාගි වෙන එකම හුදී ජන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ තරම් උනන්දුවක් දැනටමත් තියෙනවානම් මොකටද අමුතු උනන්දු කාරක ප්‍රොජෙක්ට් එකක් කියලා සහෘද හුදී-ජනයෙක් අහන්න පුළුවන්. ඇත්ත කතන්දරේ මෙන්න මේකයි; ඇත්තට ම ඒ ගොල්ලන්ගේ උනන්දුව මේ ඡන්දය ගැන ම නොවෙයි. රස්සාව, සහනාධාර වගේ වෙනත් දේවල් ගැන. ඒවා වෙනුවෙන් එයාලට සිදු වෙලා තියෙනවා තමන් ද ඇතුළත් ඡන්දදායක ජනයාගේ උනන්දුව වෙනුවෙන් උපකරණයක් හැටියට පාවිච්චි වෙන්න.බලහත්කාරයක් හෙම නෙවෙයි ඔන්න; ඒ ජනතාවගේ කැමැත්තෙන් ම තමයි එහෙ ම පාවිච්චි වෙන්නේ හොඳේ  ! මේ වැඩේ ට පොදු මහජන ආයතන හැටියට ආණ්ඩුවේ ආයතනවලින් පට්ට සපෝට් එකක් ලැබෙන්නේ. විශේෂයෙන් ම මැතිවරණ නීති-රීති වගේ දාහක් බාධක මැද්දෙත් මේ මැතිවරණ කාල සිමාව තුළ අළුත රස්සාවලට තාවකාලික ව බදවා ගත් අය, සහනාධාර පොරොත්තු ලේඛණවලට නම් ඇතුළත් වෙච්ච අය මේ වෙනුවෙන් යොමු කරලා, අවශ්‍ය විදියට ප්‍රවාහන වියදම්-කෑම බීම- නවාතැන් විතරක් නොවෙයි අවශ්‍ය විදියට රාජකාරි නිවාඩු එක්ක පඬිත් දීල ඒ ආයතන ප්‍රධානීන් විශාල අනතුරක් භාර අරන් තියෙනවා රට වෙනුවෙන් ආණ්ඩුව වෙනුවෙන්. මේවා විපක්ෂෙට නැති එක ගැන ඉරිසියා කරන්න හොඳ නෑ. ක්‍රමයක් හැටියට මේව රැකුණොත්, ඒ ඇත්තෝ බලයට පත් වෙච්ච වේලාවක කාට ද වාසි ! ඉතින් දුර දිග බලල වැඩ කරගන්න එක හොඳයි නොවැ ! අනික පෞද්ගලීකරණයනම් කරන්න හොඳ නෑ; මොකද, එහෙම වුණොත් හෙම කොහොමද මෙහෙම දෑ හිතකාමි වැඩක් කරගන්නේ. අනික, ඡන්දෙට විතරක් නොවෙයි, ඔය මානව හිමිකම් අපට එපා-බඩු මිළ තවත් වැඩි කරව් වගේ දේශප්‍රෙමීත්වයෙන් ඉහ-වහා ගිය සියළු වැඩකටයුතුවලට 'පොදු මහජන ආයතන' පවත්වා ගැනීම අත්‍යාවශ්‍යයි නේ. (ගජ-මිතුරු ධනවාදය යටතේ පුද්ගලීකරණය කළත් ඔච්චරම තමයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. හිතා පලන්න වටිණා වැඩක් තමයි)

මේ මැතිවරණයේ තියෙන පට්ටම පට්ට ජෝක් එක තමයි, මේක 'පළාත් සභා' මැතිවරණයක් වීම ! මම කිව හරි ද මන්දා ! මොකද, මේකට ඡන්ද ඉල්ලන අති ම අති බහුතරයක් තඩි ම තඩි පළාත් සභා විරෝධින්. මේ අතර සමහර අය ඉන්නවා මේ ඊයේ-පෙරේදාත් පළාත් සභාවලට බලතල දුන්නොත් රට බෙදෙනවා කියලා ඒවා අහෝසි කරවන්න කියලා හංදියක් ගානේ පෙත්සම් අත්සන් කරවලා ආණ්ඩුවට බලපෑම් කරවන්න කියපු ආණ්ඩුවේ ම කට්ටියත් ! දැන් මේ වගේ නහුතයක් උන්නාන්සෙලා මේ වෙලාවේ පළාත් සභාවේ බලය ඉල්ලන්නේ අනිවාර්යයෙන් ම "අපිට බලය නොදෙව්-තියෙන එකත් කපව්" කියන්න මිස වෙන අහවල් එකටද ! මොකද, මේ දිවි හිමියෙන් කළ රට රැක ගැනීමේ සටන පාවා දෙතෑකියැ, ඒ තරම් ලාබෙට ?

මේ සියළු උනන්දු කාරකවලින් ප්‍රබෝධමත් වුණ ඡන්දදායක ජනී-ජනයට මොකද දැන් කරන්න තියෙන්නේ.......? "මේ පාරනම් මොකක් හරි වෙනසක් ‍කරගන්න පුළුවන් වේවි" මට මුණ ගැහුණ හුදී ජනයින් කීපදෙනෙක් ම කීවා.  මගේ සාමාන්‍ය නිරික්ෂණය තමයි ඡන්ද ප්‍රතිපල කියන ජාතිය ඇහුවා ම මේ පූර්ව ඡන්ද ප්‍රතිඵල නිරික්ෂණයන් ඒවායෙන් පිළිබිඹු වෙන්නේ නැ කියන එක. සූත්තරේ මොකක්ද කියලනම් තේරෙන්නේ නෑ අවංකව ම ! ඉතින් මට හිතෙන්නේ මැිතවරණය දාට ඡන්දදායකයෝ හැටියට අපි ගිහිල්ල කරන්නේ පූර්ව විනිශ්චය කරන ලද ප්‍රතිපලයක් සුජාත කරන්න අවශ්‍ය 'ජාතික යුතුකමක්' වගේ දෙයක් කියලා ! (උතුර වගේ 'ජනතාවක්' ඉන්න තැනකට අදාල ව මේක වෙනස් බවට මම එකඟයි) ඉතින් ප්‍රතිපල වහන්සේ වැඩියා ම අපිට බලාගන්න පුළුවන් වික්‍රමබාහු කරුණාරත්නලා වගේ (මගේ මතකයේ හැටියට පළාත් සභා ක්‍රමයත්, බලය බෙදිමත් රැකගන්න ඒ මුල් දවස්වල පෙනි හිටපු ඇත්තන්ගෙන් අදත් ඒ ස්ථාවරයම වෙනස් නොකර පෙනි හිටින්නේ ඒ අය විතරයි )අය විසි වෙලා, මහ ආණ්ඩුවෙන් අංශුවක්වත් බලය එපා කියන, අර උඩ කියපු වර්ගයේ ඇත්තෝ බලයට පත් වෙලා තියෙන විදිය ! ඒක වෙන සූත්තරෙත් ඔන්න මටනම් තේරෙන්නේ නෑ !

මොනවා වුණත් මට තේරෙන්නේ අපි මේ විදියට 'ප්‍රජාතන්ත්‍රවාදය' කියන එක පට්ට ම පට්ට ජෝක් එකක් කර ගෙන අසික්කිත රසවිඳිමක බුදි වදිනවා කියලා !