Tuesday, September 17, 2013

සුනිලා අබේසේකර ගැන පමා වූ සටහනක්

සුනිලා අබේසේකර නික්ම ගියාය !

ඇය, සිය කයින් ජීවතුන් අතර සිටියදී මා ඇය හඳුනාගත්තේ ‘සුනිලා අක්කා‘ ලෙස ය. සුනිලා අක්කා අවසන් හුස්ම හෙළු බව මිතුරියකගේ දුරකථන පණිවුඩයකින් මට දැනගන්නට ලැබුණු ඒ දහවල් මැදියමේ මට දැණුනේ හදවතත්, බුද්ධියත් බර කරන කාන්සාවක් සහිත හිස් තැනකි. ඇය ගේ මරණය පිළිබඳ මෙම පුවත මට මහා අරුමයක් නො විය. පිළිකා රෝගයකින් පෙළෙමින් ඇය ගත කරන අවසන් හෝරාව හොඳින් ම දැන සිටි නිසා තවත් දිගු කලක් ඇය ජීවතුන් අතර රැඳෙතැයි අපේක්ෂාවක් මට නො වීය. එහෙත් ඇගේ මරණය මගේ ප්‍රාර්ථනාවක් ද නො විය. ඇගේ මරණය ප්‍රාර්ථනා කළවුන් සමඟ බෙදාගන්නට හෝ හවුල් වන්නටද මට දෙයක් නො වීය. සුනිලා අක්කා ගේ ජීවිතය, අපට අහිමි වි බොහෝ කලක් බව මට දැනෙන්නේ බොහෝ කල් පටන් ය. මට දැනුන කාන්සා සහගත හිස්තැන, මෙන්න මේ අහිමි විම යළි පිරවිමට සුනිලා අක්කා කවමදාකවත් ආයේනම් එන්නේ නැති බව ඒ පුවතත් සමඟින් පසක් විම ය. මගේ මෝඩ අපේක්ෂාව කුමක් වුවත් ඇතැම් විට ඇය කායික ව ජිවතුන් අතර තව කල්පයක් කල් සිටියද එය සිදු නොවන්නක් වනු ඇත.
මේ කාලයේ මගේ ජිවිතය පිරි ඇති වැඩකට නැති වැඩ කන්දරාව අතරින් පතර, ඇතැම් විට තවත් එවැනිම වැඩක් ලෙස පහුගිය දින කීපයේ සුනිලා ගැන ලිය වි ඇති බොහෝ දේ කියවුවෙමි. බොහෝ දේ ඇසූවෙමි. ඒ ඇගේ මරණය, (සැබැවින් ම ගතහොත් ඇය ගේ ජිවිතය) අපේ සමාජය විසින් කියවා ගන්නා ආකාරය කියවා ගන්නට ය.

හුදි ජනයා අතර බෙහෝ දෙනා ඇය පිළිබඳ නිශ්චිත යමක් දැන නොසිටි අතර ාණ්ඩුව හා විශේෂයෙන් ම ආණ්ඩුගැති මාධ්‍ය විසින් මවා පෙන්වන ලද චිත්‍රයට ඔවුන්ගේ සකල ඥානය සීමා විය !  මාධ්‍යයන් අතර වඩාත් ප්‍රගතිශිලි සමජ මාධ්‍යයන් අතර ද (මේ කියන්නේ සිංහලෙන් පළ වෙන ඕවා ගැන ය) මේ පටුභාවය දුලභ නොවිය. ඇතැම් අය සුනිලා අක්කාගේ පෞද්ගලික ගුණාංග ගැනත්, තවත් අය ඇයගේ කටහඬ හා ගායන-රංගන කලා කෞෂප්‍යයන් ගැනත් කියා “අනික්වා ගැන අපි දන්නැතෝ“ වගේ කථාවක් කියා ෂේප් වි ඇත. (සමාවන්න. ඇතැම්විට ඒ ඔවුන්ගේ ඇත්ත ම සීමාව විය හැක)තවත් ප්‍රතිචාරයන් අතර කතන්දරකාරයා කර තිබුණේ සුනිලා ගේ අභාවය ගැන පළ වී ඇති සියළුම ශෝකප්‍රකාශයන් සිය පෝස්ටුවේ දැමිම ය. w3ලංකා ලියන පැරකුම් මානව හිමිකම් සුරැකිම සඳහා ඇය ගත් ක්‍රියාමාර්ගයන් තුළින් ආණ්ඩුවට මෙන් ම කොටින්ටද විරුද්ධ වූ බව පෙන්වා දි මඩකාරයන්ගෙන් ෂේප් වන්නට වෑයම් කර තිබුණාක් සේ පෙනුනි. අරුණි ෂපිරෝ නම් සුනිලා ගැන ලියද්දී ඇයගේ සුපුරුදු විද්වත් තාර්කිකබව පවා පසෙක ලා මහා කුහකකමක් මතු කරගෙන තිබුණු බවක් පෙනි යයි. එක්සත් ජාතින්ගේ සංවිධානයේ දී (එය සමන්විත වන්නේ ලංකාව වැනි රාජ්‍යයන්ගෙන් බව බොහෝ දෙනා ට බෙහෝ විට අමතක වෙයි )සුනිලා විසින් ලංකාවට (?) චෝදනා එල්ල කරන ලද්දේ ‘ත්‍රස්තවාදීන්‘ සමඟ එකට සිට ගනිමින් බව අරුණි පවසා ඇත්තේ ලංකාවේ පවතින ආණ්ඩුවේ මර්දකයන් සමඟ එක ට සිටගනිමිනි. ඒ ස්වරයන් දෙක අතර  කිසිඳු වෙනසක් දක්නට ඇත්නම් මට පෙන්වා දෙන මෙන් අයැද සිටිමි.

මට කියා ගන්නට ඇති, කොහෙන්වත් නොකියවුණු බව දැනෙන දේ පසුව මෙසේ හෝ අකුරු  කළ යුතුයයි හැඟුනේ මේ තත්වයන් නිසා ය.  

සුනිලා අක්කාගේ වියෝවට පෙර ද කාලයක් පුරා මට දැණුන ඒ හිඩැස කුමක්ද ?

සමගි පෙරමුණු ආණ්ඩුවේ හිටපු විදේශ ලේකම්වරයකු වූ සුනිලා ගේ පියා, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් වාමාංශයෙන් ගිලිහී යමින් මධ්‍යම පංතිකයන් අතට පත්වෙමින් පැවැති සමාජ ක්‍රියාතාරිත්වයන් හී පුරෝගාමී නායකයකු විය. මෙම පසුබිමේ ඉහළ මධ්‍යම පංතික බලපෑම සමඟ සුනිලා 70 දශකයේ සමාජ ක්‍රියාකාරිත්වයට ගොඩ වන්නේ උපන් ගෙයි ලිබරල්වාදිනියක් ලෙස ය. 71, 88-89 දකුණේ කැරලිවලදි ද, උතුරේ අරගලයේ දි ද ඇයගේ ක්‍රියාකාරීත්වය සළකුනු වන්නේ ඒ කැරලිවල ප්‍රකාශයට පත් පරමාර්ථයන් හෝ උපාය-උපක්‍රමයන් සමඟ එකඟතාවයකින් නො වේ. මේ අවස්ථාවන්හි දි මෙන් ම ආන්දෝලනාත්මක වූ ස්ත්‍රීවාදී ක්‍රියාකාරකම් සඳහා ද ඇය ගේ ම වූ න්‍යායපත්‍රයක් ඇය ට විය. ‘ඇයගේ ම‘ යන්න නිවැරදි නොවේ. ඇත්තටමනම් ඒ ලිබරල්වාදී න්‍යායපත්‍රයයි. එක්සත් ජාතීන් ගේ සංවිධානය වැන්නක් සමඟ එක් ව සුව-පහසුව ගමන් කිරීම ට ඇයට හැකි වන්නේ මේ තත්වය තුළ ය. මේ නිසා සුනිලා ගේ ක්‍රියාකාරිත්වයන් බරපතල සීමාවක සිර වි පැවතියේ ය. එහෙත් ඒ තත්වය  වින්දිතයන් ට හැර  මේ ක්‍රියාකාරිත්වයන් හි කිසිවකුටත් ගැටළුවක් ද නො වීය. එසේ වන්නේ සුනිලා ගේ සිමාවක් නිසා නොව ලාංකිය ලිබරල් භාවිතයේ සීමාවන් නිසා ය. ලෝක ධනවාදයේ පිළිකන්නේ හැටි මෙහෙම තමා ය.

තත්වයන් මෙසේ පැවතිය දි සුනිලා අක්කා විසින් නියෝජනය කළ ක්‍රියාකාරිත්වයන් අපේ සමාජයන් ට සිදු වු බලපෑම අල්ප වුව ද එය වැදගත්  බව මගේ අදහසයි.  ලාංකික සමාජ සංවර්ධනය සඳහා වඩාත් ම බලපෑම් සහගත ක්ෂේත්‍රය ලෙස ඇය සම්බන්ධයෙන් මා දකින්නේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් ඇය ගේ මැදිහත් විමයි. ඒ සම්බන්ධයෙන් ඇය විසින් කරන ලද පුරෝගාමී මැදිහත් වීම් මගින් පුරුෂෝත්තමවාදි වටිනාකම් පද්ධතිය වෙව්ලුම් කෑමකට ලක් කිරිමට ඇය සමත් විය. ඇය සිය පෞද්ගලික භාවිතාවෙන් ම ඒ සඳහා පෙනි සිටි නිසා එය වඩාත් තීව්‍ර විය.ඇයගේ අභිතකම වඩාත් හොඳින් දැක්වුණේ මේ තලයේ හි ලා ඇය වෙත එල්ල වූ අපහාස-අවලාදයන් වෙත ඇය මුහුණ දුන් ආකාරයෙනි. එහෙත් අඩුව පැවතියේ පොදු සමාජ භාවතාවක් කරා එය ගෙන ඒමට ඒ මුළුමහත් ක්‍රියාකාරිත්වය අසමත් විම නිසා ය.

සුනිලා අක්කා පෙනි සිටි සටන්පාඨ මේ බිමේ පීඩිතයන් ට මිස පිඩක ආණ්ඩුව ට අයත් ඒවා නො විය. එහෙත් අධිරාජ්‍ය ගැති රාජ්‍යය සම වන සම්මුතියකට ඒ පෙනිසිටීමෙන් වූ  බාධාවක් නො විය. රාජපක්ෂ රෙජිමය මෙම කොලනිය පවත්වා ගෙන යාමෙහි සමත්භාවය තහවුරු කිරිම ට අසමත් වන මොහොතක එය කිරිමට සමත් වන ආකාරයේ වෙනත් රෙජීමයක් මාරු කිරිමට අවශ්‍ය ‘සමබිම‘ ව්‍යාපෘතිය පෝෂණය කිරීමට ඇයගේ කැපවීම තේරුම් ගත හැක්කේ ආණ්ඩුව සමඟ ආරෝවට ගිය ද ලිබරල්වාදය හරහා ඇයට ඇති අධිරාජ්‍යගැති ධනේෂ්වර රාජ්‍යය සමඟ ඇති සහජිවනය සමඟින් විය යුතුය. ලාංකික ලිබරල් ව්‍යාපාතිය  කෙතරම් කුහකදැයි හොඳින් ම පෙනි යන්නේ මෙන්න මේ තැන්වලදි ය. සමබිම හරහා ගොඩනගන ‘සමගි බලවේගය‘ ආදී ව්‍යාපෘති සඳහා සුනිලා අක්කා මුදල් අදිද්දී සුදර්ශන එහි ආකර්ශකයා ලෙස ක්‍රියාත්මක වෙයි. ඔහුගේ ප්‍රකාශන සුනිලා ගැන මුඛරි වෙද්දී, ඒ ව්‍යාපෘති පිටුපස නිර්මාපකයා නැතහොත් සම කර්තාවරයකුවත් වන දිප්ති  මිය ගිය අය ගැන නුගුණ කිමට හොඳ නැති නිසා සුනිලා ගැන කිසිවක් කිම ප්‍රතික්ෂේප කරන බව පවසයි.

මට දැනෙන්නේ සුනිලා අක්කා විසින් නියෝජනය කළ ක්‍රියාකාරිත්වයේ තිරිංගයන්, බාධකයන්, බොරුවලවල් ආදිය ගැන කුහක ද්වේෂයේත්, මරණය තුළින් ඇති වු භාවාතිෂමය වු සෞන්දර්යයේත් ගිලීමෙන් තොර ව විග්‍රහයක් කර ගත යුතු බව ය. එහි දි සුනිලා අක්කා එම ක්‍රියාකාරිත්වයේ දිප්තිමත් සංකේතයක් ලෙස සැළකීම අවශ්‍ය වනු ඇත.            

4 comments:

  1. සුනිලා ගැන වෙනත්ම ඇසකින් දුටු ලිපියක්. අගය කරමි. දුශාන් කැමතිනම් පමනක් මේ words verification එක අයින්කරන්න. එතකොට අදහස් ප්‍රකාශ කරන අයට ලේසියි.

    ReplyDelete
  2. අරූ ට ෙමච්චරයි කියලා කියන්න බැරි තරමට ස්තූතියි. අදහස් ප්‍රකාශනය ට අැති ඉඩ උපරිමෙයන් අාරක්ෂා කරන්න මම කැමතියි. ඔබ කියන බාධකය ඉවත් කරගන්ෙන් ෙකාෙහාමදැයි කියා ෙදන්න පුළුවන්නම් ෙගාඩක් පින් !

    ReplyDelete
    Replies
    1. දුශාන්......මට ඔය කොම්පියුටර් ජිල්මාල් මුකුත් දන්නේ නැහැ. ඔයා පහත තියෙන බ්ලොග් සයිට් එකට ගිහින් ඔය උදව්ව කරලා දෙන්න කියන්න. ඒක සයිලන්ට් සහන්ගේ "එදිනෙදා ජීවිතය "කියන බ්ලොග් එක. සහන් පටස් ගාලා කියලා දෙයි.http://obeth-mageth-addakeem.blogspot.co.uk/2013/09/domino-dancing-pet-shop-boys-1987.html

      ඔයත් නිතරම වෙන බ්ලොග්ස් කියවා ස්වාධීන අදහස් පලකරන්න. එතකොට අනිත් අය ඇවිත් ඔබේ බ්ලොගයේ වටිනා අදහස් කියවාවී.

      මාතලන් ලියා ඇති අලුත්ම පෝස්ට් එකේ කමෙන්ට්ස් ගොඩේ සයිලන්ට් සහන්ගේ ඊමේල් එඩ්‍රස් එක තිබුනා. ඒකට ලියලා ඇහුවත් සහන් උදව් කරයි. එයා උදව් කරන්න කැමති කෙනෙක්.

      Delete
  3. අාෙයමත් ෙගාඩක් ස්තූතියි අරූ ට ! මම උත්සහ කරල බලන්නම්.

    ReplyDelete