Thursday, August 22, 2013

පැමිණෙන මොහොත වෙනුවෙන් තව දවසක් ජීවත් වීම....


අතීත සිදුවීම් සමහර විට ගොඩාක් කටුකයි. ඒත් ඒවායේ මොකක්දෝ සුන්දරත්වයකුත් තියෙනවා වගෙයි කොන්දේසි විරහිතව. හරියට ම අපේ සමහර වීරයන් වගේ. ජිවතුන් අතර ඉන්න වීරයන් පිචං වෙලා යන විදියට අපට හිතෙන්නේ ඒකට ඒ කාලේ වීරයෝ කියලා. ඒත්, ඒ එක්කම හීනියට හිත කොදුරනවා, උනුත් මේ මොහොතේ ජිවතුන් අතර හිටියනම් දැන් ඉන්න උන්ට වඩා වෙනස් වේවි ද කියලත්. මේ සැකය තීව්‍ර වෙනකොට හිතෙන්නේ මේ අතින් බලද්දිනම් උන් මැරුණේ හොද වෙලාවට කියලා. නැත්නම් අපිට හෙට දවස වෙනුවෙන් අද ජීවත් වෙන්න කියලා හීනයක්වත් ඉතිරි වෙන්නේ නෑ. ඇමරිකානුවන්ගේ කියමනක් තියෙනව ලු ‘ඔබේ තාරුණ්‍යයත්, සුන්දරත්වයත් රැක ගෙන ඉක්මනින් ම මිය යන්න‘ කියලා. මට ඒකට එකතු කරන්න පුළුවන් ‘ඔව්, ඒ එක්කම වීරත්වයත්, සිහිනත්‘ කියලා. 

ඒත්.............ඒකෙන් කියවෙන දේ ඇත්ත කියලා අපි තව දුරටත් විශ්වාස කරනවනම්........, ඒකෙන්  කියවෙන්නේ අද අපි ජීවිතේ ගැටගහගන්න එල්ලෙන හීන ෆැන්ටසීන් නැත්නම් මායාවන් කියන එක නො වෙයි ද ????? එතකොට මේ ගත කරමින් ඉන්න ජීවිතය කියන එක ට තව දුරටත් තේරුමක් තියෙනවද ?  මේ ප්‍රශ්නය මුණ ගැහෙන ඉසව්ව වෙද්දී විමුක්තිය, සහනය ගෙනෙන එකම පිළිතුර තියෙන්නේ මරණය. ඒ රමණීය මරණය ගෙන එන සිය දිවි නසා ගැනීම. ඒත්..........ඒ රමණීය මොහොත විසින් ම තව මොහොතක් ආයෙමත් ඉල්ලා හිටිනවා. දැන් සියල්ල ම ඉවර වෙන්න නම් යන්නේ ඊට පස්සේ වෙන මොකකටවත් අවස්ථාවක් එන්නේ නෑ කියලා දැනෙන්න ගන්නවා. ඊට පස්සේ ජීවතුන් අතර ඉන්න අනිත් එවුන් ට ඉතිරි හැම දේම තීරණය කරන්න පුළුවන් වෙනවා. ‘මම‘ ගැන පවා, මම නැති ව ! මොන මගුලක් ද !  එතකොට දැන් වෙන්නේ කොහොමද ? දැන් ‘මම‘ ගැන තීරණය වෙන්නේ මට ඕන විදියට ද ? ම් ම් ම් ම් ම් සමහර විට...ටිකක් විතර වගේ දැනෙනවා. මරණයෙන් පස්සේ ඒ ‘ටිකත්‘ නෑ.  ඔන්න එතකොට මරණයට පෙර කළ යුතු අවසන් රාජකාරිය ගැන ආශාවක් පහළ වෙනවා. මොකක්ද කරන්නේ ඕනේ ? මරණය ට අර්ථයක්....ඒ තුළින් ජිවිතයට අර්ථයක්.... ‘තේරුමක් ඇති මරණයක්‘ කියන්නේ ජිවිතයකට අවම- ඒ වගේ ම අත්‍යවශ්‍ය දෙයක්. ඒත් ඒ ‘අර්ථය‘ තනිව නිපදව ගන්න පුළුවන් ද? බෑ කියල තේරෙනවා. එහෙම පුළුවන් වුණත් ඇති වැඩකුත් නෑ. මොකද, ‘අර්ථය‘ ට පැවැත්මක් ඇත්තේ සාමුහික ව මිස කේවල ව නොවෙයි කියල මට දැනෙනවා. 

ඒත් මේකෙන් පස්සේ තව ලොකු ම ලොකු ප්‍රශ්නයක් ! මේ අර්ථය හොයන්නේ තනි ව නොවේනම් කා එක්කද ? මට කවුරුවත් ම විශ්වාස නෑ. හැම තැනම මම අත්වින්දේ ලොකු- ලොකු ම ලොකු ව්‍යාජයක්. ඒ නිසා සජිවි ව හමු වෙන මනුස්සයෝ එක්ක මේව බෙදාගන්න යන හැම වෙලේ ම මට අතරමගදිම මුණ ගැහෙන්නේ ජුගුප්සාජනක අපේක්ෂාභංගත්වයක්. මගේ අත්දැකීම්, හැගීම් ලියන්න ඕන කියල හිතුනේ ඔන්න ඔහොම වෙලාවක. 

ඉතින් මම ලියන්න පටන්ගන්නවා. ඒත් මම දන්නවා මේක අනිවාර්යයෙන් ම අසම්පූර්ණ සටහනක්. සමහර විට කතාබහක් පටන් ගන්නවත් තරම් දෙයක් නැති තරමට ම අසම්පූර්ණ වෙන්න පුළුවන්. කොහොමටත් හැම දෙයක්මත්, හැම තැනක්මත් හිස්තැනක් වෙලා තියෙන යථාර්ථයක් ඇතුලේ අංගසම්පූර්ණ අදහසක් ඉදිරිපත් වේවි කියලා කාට හරි මම ගැන විශ්වාසය තියන්න පුළුවන් ද? බෑ නේ. ඉතින් අපි මෙහෙම ගිහින් බලමු නේ

මගේ අවිශ්වාසවන්ත සයිබර් සගයනේ, විශ්වාසයක් නැතත් බලාපොරොත්තුවක් එක්ක මාත් එක්ක මේ ගමනටත් හවුල් වෙමුද ?       

No comments:

Post a Comment